පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගත් නීතිඥවරයා නිදහස් කරන්නැයි ඉල්ලා පෙත්සමක්

Share

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා නිදහස් කරන ලෙස ඉල්ලමින් ඔහුගේ නීතිඥවරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

 

ඔහු වෙනුවෙන් නීතිඥ ගෞරි සංගරී තවරාසා මහත්මිය ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා, රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාතිලක සහ නීතිපතිවරයා ඇතුළු හය දෙනෙකු නම් කර තිබේ.

පෙත්සම්කාර නීතිඥවරිය සඳහන් කරන්නේ තම සේවාදායක නීතිඥ හිස්බුල්ලා ඉකුත් 14 වන දා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි.

මෙහිදී අත්අඩංගුවට ගැනීමට හේතුවූ කරුණු කිසිවක් රහස් පොලිසිය විසින් ඉදිරිපත් නොකළ බව පෙන්වා දෙන පෙත්සම්කාර නීතිඥවරිය අත්අඩංගුවේ සිටින හිස්බුල්ලා හමුවී උපදෙස් ලබා ගැනීමට ඔහුගේ නීතිඥවරුන්ට සාධාරණ කාලයක් මෙතෙක් ලබාදී නොමැති බවද පවසයි.

ඉකුත් දා මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පාස්කු දින එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට තම සේවාදායකයා අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කර තිබුණ ද ඔහුට එම ප්‍රහාරය සමග කිසිදු සම්බන්ධතාවක් නොමැති බව පෙත්සම්කාර නීතිඥවරිය කියා සිටියි.

එම අත්අඩංගුවට ගැනීම තුළින් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාගේ මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම අත්අඩංගුවේ පසුවන එම නීතිඥවරයා සුදුසු අධිකරණයකට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර නීතිඥවරිය සිය පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Read more

Local News