මහ මැතිවරණය පැවැත්විමට අදාළව ජාතික සමගි බලවේගයෙන් පෙත්සමක්

Share

රට පුරා කොවිඩ්-19 වසංගතය පැතිර යාමේ තත්ත්වයක් පවතින හෙයින් ජුනි මස 20 වනදා මහා මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

 

ජාතික සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් සහ හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයින් වන එන්.ජේ. අබේසේකර සහ රත්නජීවන් හූල් මෙන්ම නීතිපතිවරයාද නම් කර තිබේ.

නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම මගින් සඳහන් කර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු වූ දින සිට මාස තුනක් ඇතුළත මහ මැතිවරණයක් පවත්වා මීළඟ නව පාර්ලිමේන්තුව රැස් විය යුතු බවට ප්‍රතිපාදන සලසා ඇති බවයි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉකුත් මාර්තු මස දෙවනදා එවක පැවැති පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ තුළින් මහ මැතිවරණය අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට දින නියම කෙරුණු බව ද පෙත්සමේ සඳහන් වෙයි.

එහෙත් පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් අප්‍රේල් මස 25 වන දා මහමැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන හෙයින් එය ජුනි මස 20 වැනිදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම තීරණය තීරණය කර ඇතැයිද පෙත්සමේ සඳහන්.

මෙලෙස ජුනි මස 20 වනදා මැතිවරණයකට දින නියම කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරු පාර්ලිමේන්තුව විසුරුවා හළ දින සිට මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට ඇති හැකියාව අහිමි වීම තුළින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ද නීතිය ඉදිරියේ බල රහිත වන බවද ඔහු පෙන්වා දෙයි.

2019 වසරේ ඔක්තෝබර් මස 23 වන දා පාර්ලිමේන්තුව මගින් සම්මත කළ විසර්ජන පනතට අනුව වත්මන් රජයට රාජ්‍ය අරමුදල් වැය කිරීමට බලය හිමි වන්නේ පසුගිය අප්‍රේල් මස 30 දක්වා පමණක් බවයි පෙත්සම්කරු පෙන්වා දෙයි.

මෙම තත්ත්වය හමුවේ විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවා අවශ්‍ය මුදල් අනුමත කර ගැනීම සිදුකරන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් විසින් ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළද එම ඉල්ලීම ද ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ බව පෙත්සම්කරු පෙන්වා දෙයි.

මෙම තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රජය විසින් රාජ්‍ය අරමුදල් වැයකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවද පෙත්සම්කරු සඳහන් කරයි.

මෙම ක්‍රියාවන් තුළින් රජය සිය මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

කොරෝනා වසංගතය අවසන් වීමට පෙර මැතිවරණයක් පැවැත්වීම තුළින් මූලික අයිතීන් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසද ඔහු වැඩිදුරටත් අයද සිටී.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු ජූනි මස 20 දා මහමැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය සහ ඉකුත් මාර්තු මස 2 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.

Read more

Local News