කරන්දෙණිය පොලිස් වසමේ දිවියගහවෙල ඉහළ ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඊයේ (06) සවස ඇති වු ආරවුලක් දුරදිග ගොස් එක් පුද්ගලයෙක් ඝාතනය වී තිබේ.
එක් පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාට පිහියකින් ඇන තුවාල සිදු කර ඇත.
පසුව තුවාලකරු බොරකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට කරන්දෙණිය පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන සිදු කර තිබේ.
මෙම ඝාතනයට හේතුව සැකකරු විසින් සතුන් මැරීම සඳහා අඳින ලද විදුලි රැහැනක් පෑගී කාන්තාවක් රෝහල් ගත කිරීම සම්බන්ධයෙන් මරණකරු සහ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු සැකකරුගේ නිවසට ගොස් මේ සම්බන්ධයෙන් විමසීමේ දී ඇති වු ආරවුලක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට විමර්ශනවලදී හෙළිවී ඇත.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 32 ක් වු දිවියගහවෙල, කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම ඝාතනයෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කරන්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.



