මහ මැතිවරණයට එරෙහි පෙත්සම් දෙවන දිනටත් සලකා බැලීම අද

Share

ජුනි මස 20 වනදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම පිළිබඳ වැඩිදුර කරුණු විමසීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(19) සිදු කිරිමට නියමිතව තිබේ.

 

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල පෙත්සම් සලකා බැලීම ඊයේ(18) දින ආරම්භ විය.

ඊයේ දිනයේ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පළමුවෙන්ම කරුණු දක්වමින් ජනාධිපති නීතීඥ එම්.ඒ සුමන්දිරන් මහතා අධිකරණයට ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කැඳවීම, වාර අවසාන කිරීම සහ විසුරුවාහැරීම සඳහා ව්‍යවස්ථාපිතව බලය හිමිව තිබුණද එම බලය භාවිත කිරීමේදී කොන්දේසි ගණනාවකට යටත්ව කටයුතු කළ යුතු බවයි.

පාර්ලිමෙන්තුවක් ක්‍රියාත්මක නොවන්නේ නම් ඒ රට තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටක් නොවන බවද ජනාධිපති නීතීඥ සුමන්දිරන් අධිකරණය හමුවේ කියා සිටියේය.

පාර්ලිමේන්තුවක මහජන නියෝජිතයින් එය නියෝජනය කරන කාලය අවසන් වුවද පාර්ලිමේන්තුව දිගින් දිගටම ක්‍රියාත්මක වන බවත් පාර්ලිමේන්තුවක් විසුරුවාහැරීමට බලය ඇත්තේ නව නියෝජිතයින් පත්කරගැනීමට පමණක් වන බවයි ජනාධිපති නීතීඥවරයා පැවසුවේය.

සුමන්දිරන් මහතා වැඩිදුරටත් පවසා සිටියේ 08 වන පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් ජනාධිපතිවරයා විසින් මාර්තු මස දෙවෙනිදා නිකුත් කළ ගැසට් නිවේදනයේ මැතිවරණය පවත්වන දිනය ලෙස අප්‍රේල් 25 වනදාත් පාර්ලිමේන්තුව යළි කැඳවන දිනය ලෙස මැයි මස 14 වනදාත් සඳහන් වන බවයි.

එහෙත් එම දින දෙකම මේ වනවිට අතීතයට එක්ව ඇති දින වන නිසා බැලූ බැල්මටම එම ගැසට් නිවේදනය අවලංගු ලේඛනයක් වන බවට තර්ක කළ ජනාධිපති නීතීඥවරයා වැඩිදුරටත් පැවසුවේ එම කාරණය තේරුම් ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණීමට අවශ්‍යතාවයක්ද නොමැති බවයි.

ඇතමුන් මේ වනවිටත් එම ලේඛනය වලංගු ලේඛනයක් බවට මත පළකරන ආකාරය දක්නට ලැබෙන බැවින් එම ලේඛනය නීතීය ඉදිරියේ අවලංගු ලේඛනයක් බවට ප්රෙකාශයට පත්කරන්නැයි ඉල්ලා පෙත්සම්කාර පාර්ශ්වයට අධිකරණයට පැමිණිමට සිදුවූ බව සුමන්දිරන් මහතා අධිකරණයට පැවසුවේය.

එමෙන්ම මෙවර මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවූ දින 07 අතරින් 05ක්ම රජයේ නිවාඩු ලෙස ප්‍රකාශයට පත්කෙරුණු අතර මැතිවරණ කොමිසම ඒ බව නොතකමින් මාර්තු 17,18,19 යන දිනවල නාමයෝජනා භාරගත් බවද ජනාධිපති නීතීඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් තර්ක කලේ පාර්ලිමේන්තුව රැස් නොකර මාස තුනකට වැඩි කාලයක් ගත නොවිය යුතු බවට ව්‍යවස්ථාවේ සඳහන් කරුණ නොසළකා මැතිවරණ කොමිසම විසින් ජූනි 20 වනදා තෙක් මහමැතිවරණය කල්දමා නිකුත් කළ ගැසට් නිවේදනයද නීතීවිරෝධි වන බවයි.

මෙම වාතාවරණය මෙරට පාර්ලිමේන්ත්ර  ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි පහරක් එල්ල කර ඇති නිසා මෙම පෙත්සම් විභාගයට ගැනීමට දින නියම කරන ලෙසද ජනාධිපති නීතීඥ එම්.ඒ සුමන්දිරන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Read more

Local News