අතරමැදියන් ඉවත් කොට ඖෂධ සැපයුම විධිමත් කරන්න – ජනපතිගෙන් උපදෙස්

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(21) ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය ඖෂධ සංස්ථා දෙකෙහි සභාපතිවරු සමග ඖෂධ නිෂ්පාදනය, ආනයනය හා බෙදාහැරීම පිළිබඳව විමර්ශනයක නිරත විය.

 

රට තුළ ඖෂධ සැපයුම සකස්වී ඇත්තේ කෙසේදැයි ජනාධිපතිවරයා කළ විමසුමකට පිළිතුරු දුන් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඖෂධ සැපයුම ක්‍රම 03කට සිදුවන බව කීය.

ඒ රාජ්‍ය අංශයේ නිෂ්පාදන, පෞද්ගලික අංශයේ නිෂ්පාදන සහ දෙඅංශයම කරන ආනයන වශයෙනි.

රට තුළ ඖෂධ වර්ග 750ක් පමණ භාවිත වන බවත්, ආනයනයේදී ප්‍රසම්පාදන ක්‍රියාවලියට මාස කිහිපයක් ගත වන බැවින් ඇතැම්විට හිඟයක් ඇති වන බවත් සභාපතිවරයා කීය.

ඖෂධ සැපයුමේ කිසිදු හිඟයකට ඉඩ නොතබන්නැයි උපදෙස් දුන් ජනාධිපතිවරයා කළින් වසරේ ඉල්ලුම් රටාව අධ්‍යයනය කොට ඊළග වසරේ ඖෂධ අවශ්‍යතාව තීරණය කළයුතු බව පැවසීය.

අතරමැදියන් කිහිප දෙනෙකුගේ ලාභය නොව ජනතාවගේ පාර්ශ්වයෙන් බලා ඖෂධ නිෂ්පාදනය සහ සැපයුම විධිමත් කළයුතුය.

ඖෂධ ආනයනය සහ සැපයුම සඳහා සරල ක්‍රමයක් සකස් කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවකි.

සියලු ඖෂධ ඉහළම ප්‍රමිතියෙන් තිබිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ගුණාත්මක අගයෙන් බාල ඖෂධ නිෂ්පාදනයට හෝ ආනයනයට හෝ ඉඩ නොතබන ලෙස උපදෙස් දුන්නේය.

හිඟයක් ඇතිවීම වළක්වනු පිණිස ආරක්ෂිත තොග පවත්වා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිතුමා ඖෂධ කල් ඉකුත්වීමේ දින ගණනය කොට ඇණවුම් කළයුතු බව පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ යන මහත්වරු සහ භාණ්ඩාගාර නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Read more

Local News