එතෙර සිට එන අයගේ PCR ප්‍රතිඵල ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්න – ජනපති

Share

විදේශ රටවල සිට පැමිණෙන්නන් PCR පරීක්ෂණයට භාජන කොට ප්‍රතිඵල ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

 

ආගමන පටිපාටියට පෙර, පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් වෙනම ස්ථානයකට යොමු කර ඔවුනට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ද ජනාධිපතිතුමා පවසයි.

කොවිඩ් – 19 මර්දන කාර්ය සාධක බලකාය සහ විශේෂඥ වෛද්‍යවරුන් සමග අද(04) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ උපදෙස් දුන්නේය.

එතෙර සිට විශේෂයෙන් මැද පෙරදිග සිට සිය රට එන පිරිස් PCR පරීක්ෂණයට භාජන කිරීමේදී සහ නිරෝධායනයට යොමු කිරීමේදී මුහුණ පෑමට සිදුවන ගැටලු සහ ඒවා විසඳිය යුතු ආකාරය අද රැස්වීමේ දී දීර්ඝ වශයෙන් විමර්ශනය කෙරිණ.

PCR ප්‍රතිඵල කඩිනම් කිරීමට ගුවන් තොටුපොළ පරිශ්‍රයේම පරීක්ෂණාගාරයක් ස්ථාපනය කිරීමට ද තීරණය කෙරිණ.

වසංගතය දීර්ඝ කාලයක් පැවතිය හැකි බැවින් සහ ඉන් ඔබ්බට ද ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පරීක්ෂණාගාරයක් තිබීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

විදේශයන්හි සිට පැමිණෙන පිරිස් අදාළ රටේදීම PCR පරීක්ෂණයට යොමුකිරීමට හා එය රජයේ ඝෘජු මැදිහත්වීමෙන් හෝ අදාළ රටේ දායකත්වයෙන් සිදුකිරීමේ හැකියාව සොයා බැලීමට ද තීරණය කෙරිණ.

මෙලෙස කල්තියා ආසාදිතයින් හඳුනා ගැනීමෙන් රෝහල් වෙත යොමු කිරීමේදී සහ නිරෝධායනයේදී මතුවන ගැටලු රැසක් අවම කර ගැනීමට ද හැකිවෙතැයි රාජපක්ෂ මහතා පැවසීය.

මවුබිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින සියලුදෙනාට හැකි ඉක්මණින් අවස්ථාව ලබාදිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Read more

Local News