කොවිඩ්-19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් 22 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා අද (13) රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.
මෙම නාවික පුද්ගලයින් සියලු දෙනාම කොවිඩ් – 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති අය වෙයි.
ඒ අනුව එම රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටියදී වරින් වර සිදු කල පී.සී.ආර් පරීක්ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුළ නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
මෙම නාවික හමුදා පුද්ගලයින් 22 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 679 ක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.
රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.



