අර්ජුන මහේන්ද්‍රන්ට නිකුත් කළ වරෙන්තු ක්‍රියාත්මක කරන ලෙස නියෝගයක්

Share

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අජහාන් ගාර්දිය පුංචිහේවා යන අය අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තු ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ.

 

2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසි දෙකක දී රුපියල් බිලියන 52 කට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු සැකකරුවන් 10 දෙනෙකුට අදාළ පැමිණිල්ල අද (17) කැඳවනු ලැබූ අවස්ථාවේ දී කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය කර තිබේ.

මහෙස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ වරෙන්තුව අහෝසි කරන ලෙස ඉල්ලා රවි කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් කිහිප දෙනකු අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළ අතර ඒ අනුව ඔවුන් වෙත පැනවූ වරෙන්තු ක්‍රියාත්මක නොකිරීමට තීරණය විය.

එහෙත් අර්ජුන් මහේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා යන සැකකරුවන් අදාළ වරෙන්තුවට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවැරීමක් සිදු නොකළ හෙයින් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර තිබෙන වරෙන්තු ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

Read more

Local News