විදෙස්ගත ශ්‍රමිකයින් රවටා මුදල් වංචා කළ 5ක් අත්අඩංගුවට

Share

අත්තර්ජාලය ඔස්සේ ණය යෝජනා ක්‍රමයක් මගින් විදෙස්ගත ශ්‍රමිකයින් හට සහනදායි පොලී අනුපාතයක් යටතේ ණය ලබා දෙන බව පවසා වංචා සහගතව මුදල් ලබා ගත් සැකකරුවන් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

කිරුළපන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (26) පිටබැද්දර, නාරාහේන්පිට හා වැල්ලම්පිටිය ප්‍රදේශවලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ණය යෝජනා ක්‍රමයක් සම්බන්ධයෙන් විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දුරකතන අංක වලට දැනුම් දී එම ශ්‍රමිකයින්ගේ මෙරට පවතින බැංකු ගිණුම්වල තොරතුරු ලබාගෙන එහි එක් ගිණුමකින් රුපියල් ලක්ෂ 05ක මුදලක් වංචා සහගතව ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

තමාගේ බැංකු ගිණුමකින් මුදල් වංචාවක් සිදුකර ඇති බවට කාන්තාවක් විසින් කිරුළපන පොලීසියට සිදුකර ඇති පැමිණිල්ලකට අදාළව සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් 05දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් වයස අවුරුදු 30, 39, 38, 46 වයස් වල පසුවන පිටබැද්දර, නාරාහේන්පිට හා වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් සන්තකයේ තිබි ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කිරීම සඳහා යොදාගත් ලැප්ටොප් පරිඝණකයක්, බැංකු කාඩ්පත්, රියදුරු බලපත්‍ර මුද්‍රණයට යොදා ගන්නා ලැමිනෙටින් යන්ත්‍රයක්, රියදුරු බලපත්‍ර මුද්‍රණයට යොදාගන්නා කාඩ්පත් 925ක්, ව්‍යාජ රබර් මුද්‍රා 02ක්, ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර 61ක් සහ ජාත්‍යාන්තර රියදුරු බලපත්‍ර 05ක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (27) අලුත් කඩේ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කිරුළපන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News