ලිඳුල පොලිස් වසමට අයත් නාගසේන අගරකන්ද වත්තේ වතු නිවාස පේළියක හටගත් ගින්නකින් වතු නිවාස දහයක් සම්පුර්ණයෙන් ම විනාශ වී තිබේ.
අද (28) උදැසන 11.00 ට පමණ එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාසවලට ද පැතිර ගොස් ඇත.
ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බව ලිඳුල පොලීසිය පැවසීය.
ගින්නෙන් විනාශ වු නිවාසවල පදිංචි ව සිටි වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික භාණ්ඩ සහ වටිනා ලියකියවිලි ගිනිගෙන විනාශ වී ඇති බව අප වාර්තාකරු පැවසීය.
පැතිර යමින් තිබු ගින්න එම වතුයායේ වතු කම්කරුවන් එක්ව පාලනය කිරීමට සමත් වී ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් සිදු වු අලාභය ද මෙතෙක් තක්සේරු කර නොමැත.
ගින්නෙන් විනාශ වු නිවාසවල පදිංචි පවුල් 10කට අයත් සමාජිකයන් 40 දෙනෙකු පමණ එම වතු යායේ ආරක්ෂිත ස්ථානයක් කරා තාවකාලිකව යොමු කිරිමට පියවර ගත් බව ලිඳුල පොලීසිය පැවසීය.





