හෙට එන පෙට්‍රල් නැවට ණයවර ලිපි නිකුත් කරයි

ඉන්ධන ගැටලුව නිසා අද රැකියාවට යාම දුෂ්කර ක්‍රියාවක් බවට පත්වෙලා.

බොහෝ අමාරුවෙන් රැකියාවට ගියත් ගියපු වෙලාවේ ඉඳලා හිතන්න වෙලා තියෙන්නේ ආයේ ගෙදර යන්නේ කොහොමද කියලා.

මේ අතර හැමදාම තෙල් නෑ. තෙල් නෑ කියන බලශක්ති අමාත්‍යංශය සුබ පණිවිඩයක් අද කිව්වා.

ඒ හෙට එන්න නියමිත බව කියන පෙට්‍රල් නැවට ණයවර ලිපි විවෘත කල බවයි.

හෙට දින පෙට්‍රල් රැගත් නෞකාවක් මෙරටට පැමිණෙන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී පැවසුවා.

ඒ අනුව එම නෞකාව මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් කිරීමේ කටයුතු මේ වන විට සිදු කර අවසන් බව බලශක්ති අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පැවසුවා.

කෙසේ වෙතත් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පැවසුවේ නෞකාව පැමිණීම අවිනිශ්චිත බවයි.

මේ අතර අදත් රටපුරා දිගු ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා.

ඉන්ධන පෝලිම්වල ජනතාව මහ මග නිදා ගනිමින් තම කාලය වැය කරන්නේ කෙසේ හෝ පෙට්‍රල් ඩීසල් ටිකක් ලබා ගැනීමේ අරමුණින්.

ප්‍රදේශ කිහිපයකින් ඉන්ධන ලබා ගැනීමේදී ඇති වූ මතභේදාත්මක තත්වයන්ද වාර්තා වුණා.

පොදු ප්‍රවාහනයටද ඉන්ධන අර්බුධය දැඩි ලෙස බලපා තිබෙනවා.

රජයේ සහ පෞද්ගලික රැකියා සඳහා පැමිණෙන ජනතාව එම නිසා පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි.

පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ මගින් ඩීසල් ලබාදෙන බව පැවසුවද එය නිසි පරිදි සිදු නොවන බවට බස් සංගම් දිගින් දිගටම චෝදනා කළා.

කෙසේ වෙතත් හැටන් ලංගම ඩිපෝව මඟින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීම සිදු කර තිබුණා.

Exit mobile version