අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමට කිසිසේත් ඉඩ තැබිය නොහැක – ජනපති

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් රජය මඟින් ආනයනය කිරීමටත් පොල් වගාකිරීමේ මණ්ඩලය හරහා සෘජුවම ජනතාව වෙත අඩුමිලට පොල් අලෙවිකිරීමටත් රජය ඊයේ (27) තීරණය කෙළේය. එසේම සහල්, ලොකු ලූනු, අර්තාපල් දැනට පවතින මිලට වඩා අඩු මිලට සතොස හරහා අද (28) සිට පාරිභෝගිකයින් වෙත ලබාදීමටත් ජනාධිපතිතුමා ඊයේ උපදෙස් දුන්නේය.

වෙළෙඳ අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් අත්‍යාවශ්‍ය ආහාරවල ප්‍රමාණ සහ මිල ගණන් සතිපතා රැස්වී තීන්දු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දෙන ලදී. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළයාමට කිසිසේත් ඉඩ තැබිය නොහැකි බව ද මේ සම්බන්ධයෙන් ගන්නා තීන්දු තීරණ සක්‍රීයව ඍජුව ක්‍රියාත්මක විය යුතු බවට ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

අමාත්‍ය මංගල සමරවීර, රිෂාද් බදුර්දීන්, මහින්ද අමරවීර, සුජීව සේරසිංහ සහ එරාන් වික්‍රමරත්න යන මැති ඇමතිවරුන් සහ අදාළ අමාත්‍යාංශ නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 

Exit mobile version