උතුරේ සංවර්ධනය වෙනුවෙන් ගෝලීය අරමුදලින් තවදුරටත් ශ්‍රී ලංකාවට ආධාර – රාජිත සේනාරත්න මහතා

Share

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ උතුරේ සංවර්ධනය වෙනුවෙන් ගෝලීය අරමුදල විශේෂ අවධානයක් යොමු කර තිබෙන අතර ම සෞඛ්‍ය අමාත්‍යෘංශය ඉතා කාර්යක්ෂමව කටයුතු කිරීම හේතුවෙන් තවදුරටත් ආධාර ලබා දීමට ඔවුන් සූදානම් බවයි.

ගෝලීය අරමුදල විසින් යාපනය මරදන්කර්නි ප්‍රදේශයේ ඉදිකරන ලද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සංවර්ධන කටයුතු සඳහා මුදල් වෙන්කර දීම සිදු කළ හැකි බවත් එම සෑම මුදලක්ම නිසි පරිදි යෙදවීම නිලධාරීන්ගේ වගකීමක් බවයි.මේ සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 27 කි. ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වය මත එය ඉදිකර ඇත.

“නව ව්‍යවස්ථාවක් සැකසීමෙන් පැවැති ගැටළුවට ස්ථීර විසඳුමක් සෙවීමට සියලු දේශපාලන පක්ෂ එක්ව සිටිනවා. ඒ අතරතුර, වසර 30 ක යුද්ධයෙන් පීඩාවට පත් උතුරේ ජනතාවගේ ජන ජීවිතය නඟාසිටුවීමට සියලු පාර්ශව එක්ව සිටිය යුතු වනවා. සියලු දෙනාට සමානාත්මතාවය හැඟී යන විට තවදුරටත් යුද්ධයේ හෝ ත්‍රස්තවාදයේ අවශ්‍යතාවක් මතු වන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස උතුරේ සෞඛ්‍ය සේවය නඟා සිටුවීමට උපරිම දායකත්වයක් මම ලබා දෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් බස්නාහිරට පසු වැඩිම මුදලක් ලබාදෙන්නේ උතුරු පළාතට. උතුරට මීට පෙර මෙතරම් මුදලක් වෙන් කර නැහැ” යැයි ද කීය.

ඉදිරියේ දී වවුනියාවේ තවත් වකුගඩු රෝහලක් ස්ථාපනය කරන අතර ම වේලනෙයි හි තව රෝහලක්ද ඉදි කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

 

Read more

Local News