ශ‍්‍රී ලංකාවට සංවර්ධන ආධාර සපයන ජාත්‍යන්තර ආයතන නියෝජිතයෝ සහ ජනපති අතර හමුවක්

Share

සංවර්ධනයේත්, සංහිඳියාවේත් අරමුණු ජය ගැනීමේ ශ‍්‍රී ලංකා ජනපතිගේ වෑයමට තම පූර්ණ සහය ලබාදීමට සූදානම් බව ශ‍්‍රී ලංකාවට සංවර්ධන ආධාර සපයන ජාත්‍යන්තර ආයතනවල නියෝජිතයෝ පවසති.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ එම නියෝජිතයන් අතර හමුවක් ඊයේ (05) රාති‍්‍රයේ ජනාධිපති නිල නිවසේ දී පැවැත්වුණු අතර එහිදී ඔවුහු මේ බව කියා සිටියහ.

දීර්ඝ කාලයක් පුරා ශ‍්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙළ සඳහා මෙම ජාත්‍යන්තර මූල්‍ය ආයතන ලබාදෙන සහය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා ඉදිරියේදී වඩාත් පුළුල් ක්ෂේත‍්‍ර රැසක් ඔස්සේ එම සහයෝගිතාව ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

රජය විසින් රට තුළ කි‍්‍රයාවට නංවා තිබෙන සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ දිවයිනේ පළාත් නවයම එක සමාන සංවර්ධනයකට ගෙන එමින් රටේ සියලු ජනතාවට සංවර්ධනයේ සම ප‍්‍රතිලාභ ලබාදීම තම අරමුණ බවයි.

යුද්ධය හේතුවෙන් විනාශයට පත් වූ උතුරු නැගෙනහිර ප‍්‍රදේශ සංවර්ධනය කරා ගෙන යමින් එම ජනතාවට ද සංවර්ධන අයිතීන් ලබාදීම වෙනුවෙන් රජය ප‍්‍රමුඛ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා එම ජනතාවගේ පානීය ජල ගැටලු විසඳීම වැනි යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා රජය ගෙන යන වැඩපිළිවෙළේදී තවදුරටත් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනවල සහය අපේක්ෂා කරන බව කියා සිටියේය.

රජය විසින් උතුරු නැගෙනහිර පළාත් තුළ කි‍්‍රයාවට නංවා තිබෙන මෙම සංවර්ධන කි‍්‍රයාදාමය සාර්ථක කර ගැනීමේ දී එහි සියලු දේශපාලන නියෝජිතයින්ගෙන් ලැබිය යුතු සහය ඉතා වැදගත් බව ද ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එම සියලුදෙනා එක්කර ගනිමින් සංවර්ධනයේත්, සංහිඳියාවේත් අරමුණු ජයග‍්‍රහණය කිරීම තම අපේක්ෂාව බව වැඩිදුරටත් කියා සිටියේය.

ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (KOICA) වැනි ප‍්‍රධාන ජාත්‍යන්තර ආයතන රැසක නියෝජිතයින් මෙම හමුවට එක්ව සිටියහ.

Read more

Local News