වසර 10කට වඩා ජාතික පාසල්වල සේවය කළ ගුරුවරුන් 3,000කට අද ස්ථාන මාරු

අධ්‍යාපන අමාත්‍යාංශය වසර 10කට වඩා ජාතික පාසල්වල සේවය කළ ගුරුවරුන් 12,000ක් අතරින් 3,000කට අද (12) සිට ස්ථාන මාරු කිරීමට පියවර ගෙන තිබේ.

පසුගිය වසර ගණනාවක් මුළුල්ලේ ක්‍රියාත්මක වීම ඇනහිට තිබූ ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වහා කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලබාදුන් උපදෙස් අනුව මෙම පියවර ගෙන තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

වඩාත් ප්‍රශස්ත ගුරු උපයෝජනයක් මඟින් අධ්‍යාපන පද්ධතියේ ප්‍රමුඛතම මානව සම්පත යොදවාගැනීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, දීර්ඝ කාලයක් එක ම පාසලක සේවය කිරීම නිසා ඇතිවන ඒකාකාරීබව දුරුකරමින් නව අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව සැලසීම හා එමඟින් ගුරුභවතුන්ගේ රාජකාරී අත්දැකීම් පරාසය පුළුල් කිරීම මෙහි අරමුණ වේ.

මෙම ගුරු මාරු අදියර කිහිපයකින් සිදු කිරීමට සැලසුම් කර තිබේ.

 

විනිවිදභාවයෙන් යුක්තව මාරු මණ්ඩල පිහිටුවමින් ගුරු සංගම් ද සම්බන්ධ කරගනිමින් අදාළ ස්ථාන මාරු ලබාදීමට තමා උපදෙස් දුන් බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Exit mobile version