Home දේශීය පුවත් විශේෂ මහාධිකරණයට එරෙහි පෙත්සම විසි කරයි

විශේෂ මහාධිකරණයට එරෙහි පෙත්සම විසි කරයි

0
විශේෂ මහාධිකරණයට එරෙහි පෙත්සම විසි කරයි

කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ නියෝගයකට එරෙහිව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනා ඉදිරිපත් කළ අභියාචනා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කළේය.

සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජයරත්න, චම්පා ජානකි රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය අද ප්‍රකාශයට පත් කළේය.
මෙම නඩුව ඉකුත් 23 දා විභාගයට ගත් අවස්ථාවේදී විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන ලබා දීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නිකුත් කළ නියෝගයකට එරෙහිව ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතරදෙනා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා තිබුණි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා කියා සිටියේ මෙවැනි අභියාචනයක් ඉදිරිපත් කිරීමට විත්තිකරුවන්ට අයිතිවාසිකමක් නොමැති බවයි.
ඒ අනුව අද තීන්දුව ප්‍රකාශයට පත් කළ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා කියා සිටියේ අධිකරණ සංවිධාන සංශෝධන පනතේ විධිවිධානයන්ට අනුව අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන්නේ ත්‍රිපුද්ගල මහධිකරණය විසින් දෙනු ලබන අවසානාත්මක නියෝගයක් සම්බන්ධයෙන් පමණක් බවයි.
එහෙත් ප්‍රශ්නගත අභියාචනය ඉදිරිපත් කිරීමට තරම් ප්‍රමාණවත් පදනමක් නොමැති බව සඳහන් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒ අනුව විත්තිකරුවන්ගේ අභියාචනා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කරන බවයි කියා සිටියේ.
ඒ අනුව නඩු විභාගය නියමිත පරිදි මේ මස 7 දා සිට දිනපතා පවත්වන බව විනිසුරු මඩුල්ල නියම කළේය.
2014 වසරේ පෙබරවාරි මස පළ වනදා සිට 2015 වසරේ ජනවාරි මස 20 වනදා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අය නම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here