මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කර ඇත

Share

ළමා අපයෝජන පිළිබඳ / ළමා සැකකරුවන් පිළිබඳ වාර්තාකරණයේදී ජනමාධ්‍යවේදීන් විසින් සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳ කෙටුම්පත් කර ඇති මාර්ගෝපදේශ සංග‍්‍රහය සඳහා මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කර ඇති බව ජාතික ළමා ආරක්ෂ අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව එම මහජන අදහස් ලබා ගැනීමේ කාලය 2017.11.10 වන දින දක්වා දීර්ඝ කර ඇති අතර මීට පෙර මහජන අදහස් ලබාගැනීම පසුගිය 20 වැනිදායින් අවසන් විය.

නමුත් විවිධ පාර්ශවයන්ගෙන් ලැබුණු ඉල්ලීම් හේතුවෙන් මෙලෙස කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබෙන අතර කෙටුම්පත් කරන ලද මාර්ගෝපදේශ සංග්‍රහය පහතින් දැක්වේ.

ජනමාධ්‍යවේදීන් සඳහා වූ මෙම මාර්ගෝපදේශයෙන්, සදාචාර සම්පන්න ජනමාධ්‍යවේදි ප‍්‍රමිති තවදුරටත් ශක්තිමත් කෙරෙන පොදු ප‍්‍රවේශයක් යෝජනා කෙරෙන අතරම, ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකර වැඩිදියුණු කිරීම සඳහා දායකත්වය සපයයි.
1.    සෑම අවස්ථාවකදී ම සෑම ළමයකුගේම ගෞරවයට සහ ළමා අයිතීන්ට ගරු කරන්න.
2.    පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය සඳහා ළමයකු සතු අයිතියට ගරු කරන්න.
3.    ළමා වින්දිතයින්/ළමා සැකකරුවන්ගේ අනන්‍යතාව හෙළිදරව් වන ආකාරයෙන් එම වින්දිතයින්/සැකකරුවන් හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ නම් සහ පෞද්ගලික තොරතුරු ද ඇතුලුව පාසල, ගම් ප‍්‍රදේශය හෝ ළඟින් ඇසුරු කෙරෙන පුද්ගලයින් පිළිබඳ නම් හෝ අනෙකුත් තොරතුරු හෙළිදරව් නොකරන්න.
4.    ළමා වින්දිතයින්ගේ/ළමා සැකකරුවන්ගේ ඡායාරූප හෝ වීඩියෝ ප‍්‍රදර්ශනය නොකරන්න.
5.    සිදුවීමට අදාළ ලිංගික ක‍්‍රියාකාරකම් ඇසුරු කරගත් තොරතුරු හෙළිදරව් නොකරන්න.
6.    පහත් ලිංගිකත්වයට හෝ ප‍්‍රචණ්ඩත්වයට අදාළ හැඟීම් දැනවීම අධෛර්ය කරවන සුළු ආකාරයෙන් අදාළ සිද්ධීන් වාර්තා කිරීමට වගබලා ගන්න.
7.    ළමා අපයෝජනය හැඟුම්බර වන පරිදි වාර්තා කිරීම නොව, ළමුන් අපයෝජනය වීමේ සමාජ සහ ආර්ථික කරුණු කෙරෙහි අවධානය යොමු කරන්න.
8.    සෑම ළමයකුම වඩා හොඳින් ආරක්ෂාවීමේ අරමුණ වෙනුවෙන්, ළමා ගැටලු පිළිබඳ වැඩිපුර උපදේශන සැපයීම සහ ළමා අයිතිවාසිකම් ප‍්‍රවර්ධනය කිරීම ඇතුලු ඊට අදාළ වෙනත්  ඕනෑම ක‍්‍රියාමාර්ගයන් කෙරෙහි අවධානය යොමු කරන්න.
9.    අපයෝජනයට පත් කිසියම් ළමයකු / ළමා සැකකරුවකු වාර්තාකරණය හරහා තවදුරටත් සමාජය ඉදිරියේ අපහසුතාවයට පත් නොකරන්න. ඔවුන් වර්ගීකරණය කිරීම හෝ අමතර ශාරීරික, මානසික හානියකට ලක්වීම ඔවුන්ගේ ජනසමාජය විසින් වෙන්කොට සලකනු ලැබීම හෝ ප‍්‍රතික්ෂේප කරනු ලැබීම ද ඇතුලුව පළිගැනීමකට දරුවා නිරාවරණය කරන ආකාරයේ තොරතුරු වාර්තාකරණය නොකරන්න.
10.    සිද්ධියට අදාළ නිවැරදි තොරතුරු සපයනවා හැර වැරදි තොරතුරු හෝ සිදුවීමට අදාළ අනුමාන තොරතුරු ප‍්‍රකාශයට පත් නොකරන්න. පූර්ව විනිශ්චයන් ලබා දීමෙන් වළකින්න.
11.    ප‍්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය සහ අවිහිංසාවාදී ප‍්‍රතිපත්ති ප‍්‍රවර්ධනය කරන්න.
12.    අපයෝජනයන්ගෙන් තමන් ආරක්ෂාවන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් ළමුන්ට තොරතුරු සම්පාදනය කරන්න.
13.    ළමා අපයෝජන වළක්වා ළමා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජයට, සිවිල් සංවිධානවලට, ප‍්‍රජාවට සහ දෙමාපියන්ට ගතහැකි පියවර හෝ ප‍්‍රතිපත්ති නිර්දේශ කරන්න.
14.    අදාළ සිද්ධීන්වල තොරතුරු මූලාශ‍්‍රයන් හි රහස්‍යභාවය සුරකින්න.
15.    සමස්තයක් ලෙස ළමා අපයෝජනවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට අදාළ තොරතුරු සමාජගත කරන්න.

ළමා අපයෝජන පිළිබඳ / ළමා සැකකරුවන් පිළිබද වාර්තාකරණයේදී ජනමාධ්‍යවේදීන් විසින් සැලකිලිමත්විය යුතු කරුණු පිළිබඳ කෙටුම්පත් කර ඇති මාර්ගෝපදේශ සංග‍්‍රහය පිළිබඳව  ඕනෑම අයෙකුට අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇත.

Read more

Local News