පළාත් සභා ඡන්ද වීමසීම කඩිනම් කිරීමට අදාළ පෙත්සම සලකා බැලීම එන මසට කල්යයි

Share

කල් දමා තිබෙන පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම ලබන 02 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම අද(29) බුවනෙක අලුවිහාරේ, එල්. ටී.බී.දෙහිදෙනිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා සඳහන් කර සිටියේ කලින් යොදාගත් නඩුවක් අද පස්වරුවේ විභාගයට ගැනීමට නියමිතව තිබෙන බැවින් මෙම පෙත්සම සලකා බැලීම ලබන 02 වනදා දක්වා කල් තබන බවයි.

එදින මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් ද වග උත්තරකාර මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතාට අධිකරණය දැනුම් දුන්නේය.

සත්‍ය ගවේෂකයෝ සංවිධානය පෙන්වා දෙන්නේ පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබීම හේතුවෙන් ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය උල්ලංඝනය වන බවයි.

Read more

Local News