හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරේ

Share

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම නියෝගය ලබා දී ඇති අතර ඔවුන් මේ මස 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අයත් සමාගමක් යටතේ ඉදිකෙරෙන කොල්ලුපිටිය ග්‍රෑන්ඩ් හයිට් රීජන්ට් හෝටල් ව්‍යාපෘතියට 2012 දී කැබිනට් අනුමැතියකින් වෙන්කළ රුපියල් බිලියන 18.5ක මුදලින් බිලියන4ක මුදලක් නීති විරෝධී ලෙස හම්බන්තොට හයිට් රිජන්සි ව්‍යාපෘතියට යෙදවීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් 2017 ඔක්තෝබර් 31වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බී වාර්තාවක් මගින් ගාමිණී සෙනරත් අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබූ අතර ඔහුගේ විදේශ ගමන්ද තහනමට ලක් කර තිබිණි.

ගාමිණී සෙනරත්ට අමතරව රක්ෂණ සංස්ථාවේ හිටපු කළමණාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ, හිටපු සමෘද්ධි කොමසාරිස් ජනරාල් නීල් බණ්ඩාර හපුවින්න යන අයද මෙම රුපියල් බිලියන 04 මූල්‍ය අවභාවිතාවට සැකරුවන් ලෙස මූල්‍ය අපරාධ කොට්ඨාසය නම් කර ඇත.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගාමිණී සෙනරත් මහතා ඉදිරිපත් කළ පෙත්සමත් පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා තිබුණේ තම සේවාදායකයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සිදු කරන පරීක්ෂණ වලට පූර්ණ සහය ලබාදෙන බවයි.

එමෙන්ම අවශ්‍ය ප්‍රකාශ ලබාදීම සඳහා පසුගිය 09 වනදා ගාමිණී සෙනරත් මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමට සූදානම් බව ද ඔහුගේ නීතීඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබුණි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ සැකකරු පරීක්ෂණවලට අවශ්‍ය පූර්ණ සහය ලබා දෙන්නේ නම් ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගැටළුවක් මතු නොවන බවයි.

 

Read more

Local News