දිවයින පුරා සුවදිවි මධ්‍යස්ථාන සහ සුවනාරි මධ්‍යස්ථාන 1500 ක් ස්ථාපිත කර ඇතත් ජනතාවගෙන් සියයට 35 ක් පමණ එම මධ්‍යස්ථාන භාවිත කරමින් සෞඛ්‍ය පරීක්ෂණ සිදු කරගෙන ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
දිවයින පුරා සුවදිවි මධ්‍යස්ථාන සහ සුවනාරි මධ්‍යස්ථාන අතුරින් හොඳම සමාජ මෙහෙවරක් ඉටු කළ මධ්‍යස්ථාන සඳහා සම්මාන ප්රදානය කිරීමේ අවස්ථාවට අද(13) පෙරවරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
“රෝග නිවාරණය සහ ප්‍රතිකාර කිරීම ඉතාම වැදගත්. එහිදී බෝනොවන රෝග පාලනය කිරිම සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ කාර්යභාරය පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කර තිබෙනවා.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ රෝග නිවාරණය හොඳ තත්ත්වයක පවතින අතර, ප්‍රතිකාර කිරීම ද විධිමත් මට්ටමින් සිදු වෙනවා.
ශ්‍රී ලංකාවේ සුවදිවි මධ්‍යස්ථාන සහ සුවනාරි මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ද එහි ආභාෂය ලබාගෙන එවැනි මධ්‍යස්ථාන ලක්ෂ එකහමාරක් ඉන්දියාව පුරා ස්ථාපිත කළා. තව ද ශ්‍රී ලංකාවේ හෘද රෝගීන් සඳහා භාවිත කරන ස්ටෙන්ස් මිල අඩු කළ පසු ඉන්දියාව ද ස්ටෙන්ස් මිල අඩු කළා.
එවැනි දුප්පතුන් කේන්ද්‍ර කර ගත් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක කිරීම නිසා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙවර මැතිවරණයෙන් ද ජයග්‍රහණය හිමි කර ගත්තා.
කිසියම් පුද්ගලයෙකුගේ ශරීරය තුල පවතින රෝග මුල් අවස්ථාවේ දීම හදුනා ගැනීම ප්‍රතිකාර කිරීමට ඉතාම වැදගත්. එය රජයට ද වාසි සහගත වෙනවා. එම අරමුණින් දිවයින පුරා සුවදිවි මධ්‍යස්ථාන සහ සුවනාරි මධ්‍යස්ථාන 1500 ක් පමණ ස්ථාපිත කළා.
පසුගිය වසර කිහිපය තුල සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ ජනතාවගෙන් සියයට 35ක් පමණ එම මධ්‍යස්ථාන භාවිත කරමින් රෝග පරීක්ෂණ සිදු කර ඇති බවයි. සියයට 65 ක් පමණ රෝග පරීක්ෂණ සදහා සහභාගි වී නැහැ.
රෝග පරීක්ෂණ සඳහා සහභාගිවූවන්ගෙන් ද බහුතරය කාන්තා පාර්ශ්වයයි. එම නිසා දෙවන අදියර යටතේ බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක පුද්ගලයින් 10,000 – 15,000 පරාසයක ජනතාවට පවුලේ වෛද්‍යවරයෙක් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එම වෛද්‍යවරයා තමන්ට අයත්වන ජනතාවගේ සෞඛ්‍ය පරීක්ෂණ සෑම වසරක දීම අවස්ථා 02 ක දී සිදු කළ යුතුයි. එමගින් මිලියන 21 ක් වූ ජනතාවගේ සියලු සෞඛ්‍ය පරික්ෂණ නිවැරදිව සිදු වෙනවා. තව ද ක්රමවත්භාවයකින් තොර පෞද්ගලික වෛද්‍ය සේවා ක්‍රමය නතර කර පවුලේ වෛද්‍යවරයා මගින් ජනතාව විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කිරීමේ හැකියාව ද මෙමගින් උදා වෙනවා” යැයි ද පැවසීය.



