වැලිකඩ සිද්ධියේ නඩුව විභාග කරන්න නීතිපති ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

ඉකුත් 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියට අදාළ නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

නීතිපතිවරයා විසින් අග විනිසුරුවරයා වෙත යොමුකර තිබෙන ලිඛිත ඉල්ලීමේ සඳහන් කර තිබෙන්නේ 2012 වසරේ නොවැම්බර් මස 09 දා වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූ සිද්ධියට අදාළ නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනු කිරීමට අපේක්ෂා කරන බවයි.

එම නඩුවේ විත්තිකරුවන් ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව,  හිටපු බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා සහ බන්ධනාගාර බුද්ධි අංශයේ සේවය කළ  නිලධාරියෙකු වන හිමදුවගේ සුජීව සම්පත් යන අයට එරෙහිව චෝදනා 33 ක් යටතේ අධිචෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරයි.

මෙම සිද්ධියේ තුන්වන සැකකරු ලෙස කිරීමට නියමිත ඉමදුවගේ සුජීව සම්පත් නමැත්තා මේ වන විට අධිකරණය මගහැර සිටි බවද වාර්තා වෙයි.

මෙම විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර වීමට නියමිත නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අගවිනිසුරුවරයා වෙත නීතිපතිවරයා විසින් යොමුකළ ඉල්ලීමේ සඳහන් වන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

Exit mobile version