දුම්රිය වර්ජනය හේතුවෙන් ජනතාව දැඩ් අපහසුතාවයට

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති ඊයේ මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මගීන් අද(21) දැඩි දුෂ්කරතාවට ලක්විය.

වර්ජනය හෙටත්(22) ක්‍රියාත්මකයි.

දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ වැටුප් විෂමතාවලට අදාළව අනුමත කළ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කරමින්  දුම්රිය වෘත්තිය සමිති 5 ක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දෙදින වැඩවර්ජනයක් ආරම්භ කළේය.

ඒ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සමඟ සිදුකළ සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුවයි.

කෙසේ වෙතත් වැඩ වර්ජනය මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක විමට නියමිතව තිබුණත් ඊයේ සවස කාර්යාලයීය වේලාවේ සිටම දුම්රිය ධාවනය ඇනහිට තිබීම හේතුවෙන් මගීන් දැඩි දුෂ්කරතාවට පත්විය.

ඊයේ රාත්‍රියේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නොසන්සුන් තත්ත්වයක් ඇති වුයේ කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා ධාවනය වන දුම්රිය සඳහා රියදුරෙකු නොමැති බව පැවසීමත් සමඟින්.

කෙසේ නමුත් පසුව දුම්රිය ගමනාන්තය දක්වා ධාවනය කිරීම සඳහා එක් දුම්රිය රියදුරෙකු පසුව ඉදිරිපත්විය.

ක්‍රියාත්මක වූ දුම්රිය වර්ජනය හේතුවෙන් අද උදෑසනද දුම්රිය ස්ථානවල දැඩි තදබදයක් දක්නට ලැබුණි.

මේ අතර දුම්රිය සංඥා තාක්ෂණ නිලධාරින්ද වැඩවර්ජනයට සහාය දැක්විම හේතුවෙන් සංඥා පද්ධති ක්‍රියාකාරිත්වයටද බාධා එල්ල වී තිබුණේ දුම්රිය ධාවනයට අවදානම් තත්ත්වයක් මතුකරමින්.

මෙලෙස දුම්ර්ය වර්ජනය ක්‍රියාත්මක වන පසුබිමක පිටකොටුව පෞද්ගලික බස් නැවතුම්පොළේ මෙන්ම ලංගම බස්නැවතුම්පොළ අසලද අද පස්වරුවේත් දිගු පෝලිම් දක්නට ලැබුණු අතර එහි නොසන්සුන් තත්වයන්ද ඇතිවිය.

කෙසේවෙතත් ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන බවට රජය සහතික වී තිබියදීත් මෙලෙස වර්ජනයක් දියත්කිරීම අසාධාරණ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

Exit mobile version