මාධ්‍ය ඉදිරියට පැමිණ කථා කිරීම පමණක්ම ජනාධිපතිවරණයට සුදුසුකමක් නොවන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, අද(02) පෙරවරුවේ කොළඹ 14, බණ්ඩාරණායක මාවතේ පිහිටි එ.ජා.ප. කාර්යාලයේ පැවති අඩු ආදායම්ලාභී පිරිස් වෙත පරිගණක ලබාදීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,
“ජනාධිපති ධූරයට ඉදිරිපත් වීමට අද නොයෙක් දෙනා අපේක්ෂා කරනවා. සමහරුන්ට එසේ අපේක්ෂා කිරීමට පවා කිසිදු සුදුසුකමක් නැහැ. මාධ්‍ය ඉදිරියට පැමිණ කතා කිරීම පමණක්ම ජනාධිපතිවරණයට සුදුසුකමක් වෙන්නේ නැහැ.
එ.ජා.ප. ය කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් ගොඩනැගුව පක්ෂයක් නෙමෙයි. බහුතරයකගේ කැපවීම මත ගොඩනැගුන පක්ෂයක්.
මේ පක්ෂය තුළින් ජනාධිපතිවරණය වෙනුවෙන් වඩාත් පරිනතභාවයෙන් යුක්ත, මේ රට ජාත්‍යන්තරය කරා ගෙනයා හැකි, රටත් ජනතාවත් ගැන හිතන, ආදරයක් තියෙන, වැඩක් කළ හැකි පුද්ගලයෙක්.
මේ පුද්ගලයා අඩුම ගණනේ සාමාන්‍ය පෙළවත් සමත් පුද්ගලයෙක් වියයුතුයි. රෑ වැටුණ වලේ අපිට දවල් වැටෙන්නනම් බැහැ.
ඛනිජ තෙල් සංස්ථාවත් සමඟ ලංවිම කිසිම අර්බුදයක් නැහැ. එකම දේ තමයි ඔවුන් අපි කියන දේ කරන්නේ නැති එක. මේ රටේ අහිංසක පුද්ගලයින්ට යම් පොරොන්දුවක් දුන්නානම්, අපි ඒ දේ මොන ආකාරයෙන් හෝ ඉෂ්ට කළ යුතුයි. ඒකට අපි බැදී සිටිනවා.
මේ ගැටළුව සම්බන්ධයෙන් ජනතාවට ලිඛිතව පොරොන්දු වූ දෙයක් තිබෙනවා. අන්න ඒ දේ ඉටු කළ යුතුයි. අහිංසක ජනතාව පීඩාවට පත්කරන්න නම් මම ඉඩ තියන්නේ නැහැ.
මේ පිරිස් සුඛෝපභෝගි මාලිගාවල ඉන්න පිරිසක් නොවෙයි. කුමාර වෙල්ගම ඇමතිතුමාටයි, අර්ජුන රණතුංග මැතිතුමාටයි මම ස්තුති කරනවා, මේ පිරිස කෙරෙහි මානුෂීය ආකාරයෙන් සිතලා, ඔවුන්ට ලිඛිතව පොරොන්දුවක් ලාබදීම පිළිබදව.
මේ සිංහල බෞද්ධ රට බෞද්ධ රටක් නෙමෙයි කියන අබෞද්ධයෝ තවත් අබෞද්ධ වැඩ කරන පිරිස් ජනාධිපතිවරණයට නම් කරන්න හදනවානම්, එක්සත් ජාතික පක්ෂය ඒවගේ දේවල් අනුමත කරන්නේ නැහැ. අපේ පක්ෂයේ විනයක් තිබෙනවා. නොයෙක් කල්ලි වලට අපේ පක්ෂයේ ඉඩක් නැහැ.
පක්ෂයේ එකමුතුභාවය නැති කරන්න දෙන්නේ නැහැ. අද යම් අය කශේරුවක් නැති තත්ත්වයට පත් වෙලා. මෙතෙක් කලක් රැකගෙන ආව එක්සත් ජාතික පක්ෂය, එක්කෙනෙක්ගෙ දෙන්නේක්ගේ බූදලයක් බවට පත්කරන්න දෙන්නේ නැහැ.
රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අපි ක්‍රියාත්මක වනවා. මේක හරියාකාරව කරන්න අපි බැදී සිටිනවා. නමුත් ජාතික ආරක්ෂාව කියන්නේ මාධ්‍ය සංදර්ශනයක් නෙවෙයි.
කෲර ක්‍රියා තුලින් මුළු රටම දනගස්වලා තිබෙන අවස්ථාවක, ඒ අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් එළියට ඒමයි අපි කල යුත්තේ. මේක දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙය්ක නෙමෙයි. මේ රට ආරක්ෂා කිරීම අපි සතු වගකීමක් “යැයි පැවසීය.



