චීනෙන් ලැබුණු නෞකාව අද කොළඹට

Share

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පසුගිය 2019 ජුනි 05 වන දින ලබා ගන්නා ලද පී 625 නෞකාව අද(08) උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබේ.

නෞකාව කොළඹ වරායට පැමිණිමෙන් අනතුරුව, නාවික හමුදාධිපතිතුමා නෞකාවේ නිරීක්ෂණ චාරිකා වාරයක නිරත වූ අතර, එහිදී නෞකාවේ ක්‍රියාකාරීත්වය, මෙහෙයුම් සූදානම සහ සැකැස්ම පිළිබඳව නාවික හමුදාධිපතිතුමන්ගේ නිරීක්ෂණයට ලක් විය.

තවද, මෙම නෞකාව නුදුරේදීම අධිකාරියට පත් කිරීමට ද නියමිතව ඇත.

1994 වර්ෂයේ නිශ්පාදනය කර ඇති මෙම නෞකාව දිගින් මීටර් 112 ක් සහ පළලින් මීටර් 12.4 ක් වන අතර, එහි ධාරිතාවය ටොන් 2300 ක් වේ.

පී 625 නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන්, කපිතාන් නලින්ද්‍ර ජයසිංහ කටයුතු කරනු ලබන අතර, නෞකාවේ නිලධාරීන් 18 දෙනෙකු ඇතුළු 110 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් රාජකාරී කරනු ලබයි.

එය ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා කණ්ඩායමට එක් වූ පසු ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදු කලාපය තුළ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ නාවික කටයුතුවල නිරත වන නෞකා සහ යාත්‍රා වෙත සහන සැපයිම සඳහා යොදා ගැනීමට අපේක්‍ෂා කර ඇත.

Read more

Local News