ආණ්ඩුව ජනතාවට දැනෙන සංවර්ධනයක් කළා

වත්මන් ආණ්ඩුව පසුගිය සමයේ ජනතාවට දැනෙන සංවර්ධනයක් සිදුකළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

නාරම්මල ඊයේ(21) පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

කවුරුන් මොන දේ පැවසුවත් ආණ්ඩුවේ සංවර්ධන ව්‍යපෘති නවතා නොමැති බව පැවසු අමාත්‍යවරයා, ගම්පෙරළිය මඟින් ලක්ෂ තුන් හාර දහසක මුදලක් පොම්ප කරන බව ද පැවසීය.

සමෘද්ධිය නොමැතිව සිටිය පිරිසට ලක්ෂ 6 කට සමෘද්ධිය ද මේ වන විට රජය මඟින් ලබා දී ඇතැයි පැවසු අමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මේ වන විට පාසල් සාදමින් යන බව ද කියා සිටියේය.

සියලු දරුවන්ට මේ වන විට සුරක්ෂා රක්ෂණය ලබා දී ඇති බව ද පැවසු අමාත්‍යවරයා, තමා පිරිවෙන්වල ස්වාමීන් වහන්සේලා රක්ෂණය කළ බවත්, ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අනෙක් සියලු දෙනා රක්ෂණය කළ බව ද පැවසීය.

එදා පැවති සුදු වෑන් සංස්කෘතිය වෙනුවට අද වන විට සුවසැරිය ගිලන් රථ සේවය හඳුන්වා දුන් බව ද පැවසු අමාත්‍යවරයා, 1 වෙනිදා වන විට උපාධිධාරීන් 15000 කට රැකියා ලබා දෙන බව ද කියා සිටියේය.

අධිවේගය සාදා නිමකරමින් යන බවත් ළඟදීම විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත්, මේවා සංදර්ශන නොවන බවද කියා සිටි කාරියවසම් මහතා, නිහඬ විප්ලවයක් පසුගිය කාලය පුරා සිදු කර ඇතැයි ද පැවසීය.

දැනෙන වැඩ කොටසක් පසුගිය කාලයේ සිදු කර ඇතැයි පැවසු අමාත්‍යවරයා එය කිසිවෙකුට නෑ යැයි පැවසීමට නොහැකි බව ද කියා සිටියේය.

Exit mobile version