මත්ද්‍රව්‍ය විරෝධී සටනේ දී තමා තනි වී නොමැති බව ජනපති කියයි

මත්ද්‍රව්‍ය විරෝධී සටනේ දී තමා තනි වී නොමැති බවත්, රටේ ජනතාව සියයට 90ක් පමණ එම සටනට තමා සමඟ එක්ව සිටින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද(29) පෙරවරුවේ රත්නපුරයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා ගත් තීරණයට එරෙහිව ආණ්ඩුවේ වගකිව යුතු පිරිස් පාරට බහිද්දි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් සහ දූෂිතයන් ජය පැන් බොන්නට පටන්ගත් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

තමා සියලූ තීන්දු තීරණ ගන්නේ රටේ අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනැගීමට බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා දේශපාලනඥයා ද, රාජ්‍ය නිලධාරීයා ද උතුන් බුද්ධිමතුන් සියලූදෙනා අද දවසේ මාතෘ භූමිය වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම නිසි ලෙස ඉටු කිරීමට පෙරට ආ යුතු බව ද කියා සිටියේය.

“සබරගමුව ලස්සනයි” වැඩසටහන හඳුන්වාදීම සහ කිතුල් සම්බන්ධ ප්‍රඥප්තිය එළිදැක්වීම වෙනුවෙන් සබරගමුව පළාත් සභා සංකීර්ණයේ දී මෙම උත්සවය පැවැත්විණි.

සබරගමු පළාතත්, සබරගමු ජනතාවත්, ආර්ථීකයත් නංවාලීමට සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතාගේ සංකල්පයක් අනුව ක්ෂේත්‍ර 15ක් ඔස්සේ, සබරගමුව ලස්සනයි, වැඩසටහන හඳුන්වා දී තිබේ.

සබරගමුව ලස්සනයි, නාම පුවරුව දුරස්ථ පාලකයක් මඟින් නිරාවරණය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

මේ වෙනුවෙන් සම්පාදනය කරන ලද ග්‍රන්ථය ද සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

Exit mobile version