ජනපති නැවත එජාප සෙවන යටට යන්නේ නෑ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිසේත්ම නැවත වතාවක් එක්සත් ජාතික පක්ෂයේ සෙවන යටට නොයන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මෙසේ ප‍්‍රකාශ කලේ අද (06) බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේ පැවැති යුක්තියට හඬක් සංවිධානයේ පළමු සම්මේලනයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී මාධ්‍යවේදීන් අසා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට යෑම පිළිබඳවයි.

එයට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, පක්ෂයක් එවැනි තීරණයක් නොගත්තේ නම් එය අසාර්ථක පක්ෂයක් වන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා නිදහස් පක්ෂය අතර ඇති කර ගත් සාකච්ඡා තව දුරටත් පැවැත් වෙන බව කියා සිටි මහින්ද රාජපක්ෂ මහතා, එම සාකච්ඡා අසාර්ථක වීමට ඉඩක් නොමැති බවත් පැවසීය.

ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක නැවත වතාවක එක්සත් ජාතික පක්ෂයට නොයන බවත් පැවසු විපක්ෂ නායකවරයා, අනෙක් අය ඇඳගෙන යෑමට උත්සහ කරත් ජනාධිපතිවරයා නැවත සිරිකොතේ සෙවන වැටීමට අවස්ථාවක් නොමැති බවත් කියා සිටියේය.

Exit mobile version