ගෝඨාට එරෙහි නඩුවේ ගැටලුවක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ චෝදනාව ඉදිරිපත් කර තිබෙන ආකාරය වැරදි සහගත බව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

හම්බන්තොට මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයට අයත් රුපියල් මිලියන 33.9ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ චෝදනාව ඉදිරිපත් කර තිබෙන ආකාරය වැරදි සහගත බව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

එසේම එම චෝදනාව අපැහැදිලි තත්වයක පවතින බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

අදාල නඩුවේ චෝදනා ගොනු කර තිබෙන ආකාරය නීති විරෝධී හෙයින් එම නඩුව ප්‍රතික්ෂේප කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ විශේෂ අභියාචනා පෙත්සමක් අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු තහවුරු කෙරුණු අවස්ථාවේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටිමින් ජනාධිපති නීතිඥවරයා අනාවරණය කර සිටියේය.

එම පෙත්සම සලකා බැලීම සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සිදු කෙරුණි.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අවධාරණය කර සිටියේ විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කරන තිබෙන චෝදනා පත්‍රය තුළ කුමන්ත්‍රණ චෝදනා දෙකක් ඇතුළත් කර තිබෙන බවත් එකම අවස්ථාවක විත්තිකරුවන්ට කුමන්ත්‍රණ චෝදනා දෙකක් එල්ල කිරීමට හැකියාවක් නොමැති බවයි.

මෙම වරද පිළිබඳව විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරු ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ මූලික විරෝධතාවක් මතු කළත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කළ බව ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මෙම නඩුවට අදාළ විමර්ශනය සිදු කර තිබෙන්නේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය බව පෙන්වා දුන්නේය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ස්ථාපිත කර තිබෙන ආකාරය මුළුමනින්ම නීති විරෝධී යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එම කොට්ඨාසය ස්ථාපිත කර තිබෙන්නේ පොලිස්පතිවරයා විසින් බව සඳහන් කළේය.

පොලිස්පතිවරයාට පොලිස් කොට්ඨාශයක් ස්ථාපිත කිරීමට බලයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එවැන්නක් කිරීමට බලය තිබෙන්නේ ආරක්ෂක විෂයභාර අමාත්‍යවරයාට පමණක් බව කියා සිටියේය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පොලිස්පතිවරයා විසින් ස්ථාපිත කර තිබීම හේතුවෙන් එය බලරහිත නීතිවිරෝධී ආයතනයක් හෙයින් එම ආයතනය විසින් සිදුකළ මෙම නඩුවට අදාළ පරීක්ෂණයද නීති විරෝධී බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

එම නීතිවිරෝධී පරීක්ෂණය පදනම් කරගෙන මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධිචෝදනා පත්‍රය ද නීති විරෝධී හෙයින් එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළ යුතු බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 11 වන දිනට කල් තැබුණි.

Exit mobile version