පලාලි ගුවන්තොටුපොළේ සියයට හැත්තෑවක වැඩ අවසන්

කලාපීය සහ ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ලෙසට ප්‍ර‍වර්ධනය කෙරෙන පලාලි ගුවන්තොටුපොළේ පළමු අදියරේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කෙරෙන ඉදිකිරීම්වලින් සියයට 70ක වැඩ අවසන් වී තිබේ.

ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම විසින් සිදු කෙරෙන ඉදිකිරීම්වලින් සියයට 55ක ප්‍ර‍මාණයක්ද මේ වන විට අවසන්ව තිබේ.

සමස්තයක් ලෙසට පළමු අදියරේ සියලු මූලික සැකැස්මේ ඉදිකිරීම් කටයුතු අවසන්ව ඇතැයිද අනාවරණය විය. ඒ ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පලාලි ගුවන්තොටුපොළේ කළ හදිසි නීරීක්ෂණ චාරිකාවකදීයි.

ලබන මස 16 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පලාලි ගුවන්තොටුපොළහි ජාත්‍යන්තර ගුවන් ගමන් උත්සවාකාරයෙන් සිදු කෙරෙනු ඇත. ඒ සඳහා එම ගුවන් තොටුපොළෙහි පළමු අදියරෙහි ඉදිකිරීම් ලබන මස 10 වැනිදා වන විට අවසන් කිරීම මූලික ඉලක්කයයි.

එම ඉලක්කය සපුරා ගැනීම සඳහා පලාලි ගුවන්තොටුපොළෙහි ඉදිකිරීම් නියාමානුකූලව සිදු වන්නේ දැයි සොයා බැලීම අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ හදිසි නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.

Exit mobile version