විශ්‍රාමික දුම්රිය සේවකයින් සේවයට යොදවයි

දුම්රිය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විශ්‍රාමික දුම්රිය සේවකයින් සේවයට යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාත්මක කර ඇති වර්ජනය හේතුවෙන් මෙම පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවද දුම්රිය 11ක්  අද (30) පෙරවරුවේ ධාවනයට යොදා තිබේ.

මේ අතර වෘත්තීය සමිතිවල වැටුප් විෂමතා ගැටළු පිළිබඳ සෙවීම සඳහා පත්කළ අමාත්‍ය අනුකමිටුව සහ වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් අද පස්වරු03.00ට පැවැත්වීමට නියමිතයි.

එම සාකච්ඡාවෙන් අනතුරුව සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්පී.එම්.පී පීරිස් මහතා පැවසුවේය.

මේ අතර විශ්වවිද්‍යාල වෘත්තීය සමිති, රජයේ විධායක නිළධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව, පරිපාලන නිළධාරීන්ගේ සංගමය මේ වනවිට වෘත්තීය සමිති ක්‍රියා මාර්ගවල නිරත ව සිටියි.

මීට අමතරව ගුරු විදුහල්පති වෘත්තිය සමිතිද පසුගිය දා දෙදින වර්ජනයක් ක්‍රියාත්මක කළ අතර ලබන මස 05 වනදා සිට දින පහක අඛණ්ඩ වර්ජනයක නිරතවීමට ඔවුන් තීරණය කර තිබේ.

ඒ අනුව අද අමාත්‍ය අනුකමිටුව සමඟ පැවැත්වෙන සාකච්ඡාව සඳහා වර්ජනයේ නිරත සියළු වෘත්තීය සමිති සමාජිකයින්ට කැඳවීම් සිදුකර ඇති බව වාර්තා වේ.

Exit mobile version