හැකියාවට රැකියාවක් ලබාදී රටේ අනාගතය සුරක්ෂිත කරන්න කටයුතු කරන බව රවී කියයි

Share

ඔබේ හැකියාවට රැකියාවක් ලබාදීලා මේ රටේ අනාගතය සුරක්ෂිත කරන්න කටයුතු කරන බවත් රටට, ජාතියට හෝ ආගමට එක්සත් ජාතික පක්ෂයෙන් කිසිම කළු පැල්ලමක් ඇති නොවන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ජනාධිපති අපේක්ෂ සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පසුගියදා තොටලග මංසන්ධියේ පැවති එක්සත් ජාතික පක්ෂ ජන රැළියකට සහභාගි වෙමිනි.

මෙම රැළිය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු කොළඹ දිස්ත්‍රික් මැතිඇමතිවරුන් විශාල පිරිසක් සහභාගි වූහ.                                                                                                                                                                                                                මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,                                                                                                                                                                                                                      “උතුරු කොළඹ කියන්නේ හදවතින් පොහොසත් ජනතාවක් සිටින ආසනයක්. 2015 ජනවාරි මාසේ ජනතාව අපිට බලය ලබා දුන්නා. ඉන් පස්සේ අපි හවුල් ආණ්ඩුවක් බිහිකළා. හවුල් ආණ්ඩු කියන්නේ අවුල් ආණ්ඩු. වසර 5 ක් තුළ අපි මොනවාද කළේ කියලා ඔබට අහන්න පුළුවන්.

අපිට නිර්භයව කියන්න පුළුවන්, රටේ නැතිවෙලා තිබුණ ප්‍රජාතන්ත්‍රවාදය අපි නැවතත් ස්ථාපිත කරලා ජනතාවට නිදහසේ නිවහල්ව ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කළා කියලා.

ඒ වගේම අපි ජනතට අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් ලබා දුන්නා. නිවාස ලබා දුන්නා. මහාමාර්ග පහසුකම් ඇතිකළා. සම්පූර්ණායන් නැතත් පුළුවන් ආකාරයෙන් රැකියා ලබා දුන්නා.

අන්න ඒ නිසා තමයි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න හැකි අපේක්ෂකයා කවුද කියලා අපි සෑහෙන්න අධ්‍යයනය කළේ. දේශපාලන පොර පිටියේ නොයෙක් නොයෙක් අදහස් ඉදිරිපත් වුණා.

දැන් සමහරු හිතනවා ඇති සජිතුයි රවී එක වේදිකාවේ ඉන්නේ කොහොමද  කියලා. මෙන්න මේක තමයි වෙනස. අපිට වටින්නේ පුද්ගලයින් නොවෙයි. අපිට වටින්නේ රටයි පක්ෂයයි පමණයි. අන්න ඒ නිසයි සජිත්ව දිනවන්න අපි සියළුදෙනාම එකම වේදිකාවක ඉන්නේ.

සිංහල, දෙමල, හින්දු, මැලේ, බර්ගර් මේ සෑම ජාතිකයෙක්ම අද එක්වෙලා ඉන්නේ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීම තුළින් රට ආරක්ෂා කරගන්නයි. අපට අද හිතන්න වෙලා තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්නවාද, නැතිනම් පවුල් වාදය රැක ගන්නවාද යන්නයි.

2015 අපිට ජනතාව ලබාදුන්න බලය තුළින් අපි රටේ වෙනසක් ඇති කළා. එදා අපිට බාර දුන්නේ දණගස්වපු ආර්ථිකයක්. කඩා වැටුණ ආර්ථිකයක්. ඉදිරියට ගෙනයන්න බැරි ආර්ථිකයක්. දින 100 ක් තුලදී පොරොන්දු 100 ක් ඉටු කරන්න අපි ජනතාවට පොරොන්දු වුණා.

මහින්ද රාජපක්ෂ රජය වසර 10 ක් තිස්සේ අපේ රජයේ සේවකයන්ට වැටුප් රු. 2500/= කින් වැඩි කරන්න පොරොන්දු දෙමින් සිටියා.

අපි බලයට පැමිණිලා දින 35 යද්දි අපිට හැකිවුණා රජයේ සේවකයින්ගේ වැටුප් රු. 10,000 කින් වැඩි කරන්න.

ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ නිලධාරීන්ගේත් ඒ ආකාරයෙන්ම අපි වැටුප් වැඩි කලා. ඒ ආකාරයෙන්ම සෞඛ්‍යය අංශයට, අධ්‍යාපන අංශයට වැටුප් වැඩි කරන්න අපට හැකිවුණා. රට පුරාම නිවාස හදන්න, පාරවල් හදන්න අපි මුදල් වෙන්කළා. එක ආසනයක් ඒ එක දිස්ත්‍රික්කයකට සීමා වෙලා තිබුණ සංවර්ධනය සමස්ත දිවයිනම ආවරණය වන පිරිදි ව්‍යාප්ත කරන්න අපට හැකිවුණා.

මම ඉතාමත් වැදගත් කරුණු 03 ක් ඉදිරිපත් කරනවා. එකක් තමයි මේ රටේ ජාතික ආරක්ෂාව. අනෙක තමයි මේ රටේ ජාතික ආර්ථිකය. අනෙක තමයි මේ රටේ තරුණ පිරිස.

මෙන්න මේ සාධක 03 මත තමයි රටේ අනාගතය රදා පවතින්නේ. අපේ ප්‍රතිවාදීන් ජනතාව තුළ බියක් ඇති කරන්න හදනවා, එක්සත් ජාතික පක්ෂය බලයට ආවම රටේ ඒකීයභාවය නැති කරනවා කියලා. මේ රටට ඒකීයභාවය හදුන්වලා දුන්නෙත් එක්ස්ත ජාතික පාක්ෂික හිටපු ජනාධිපති දිවංගත ජේ.ආර්. ජයවර්ධන මහතායි.

අපි වසර 5ක් පාලනය කළා. රටේ ඒකීයභාවයට බාධාවක් වුණාද. එක කළු පැල්ලමක්වත් ඇති වුණාද. නැහැ නේද. එහෙනම් ඇයි අපි බියවෙන්නේ. ඔවුන් තවත් දෙයක් කියනවා එ.ජා.ප.ය බලයට ආවොත් බෞද්ධාගමට ගැටළු වෙනවා කියලා. මේ රටේ බෞද්ධාගම ආරක්ෂා කරන්න, ව්‍යාප්ත කරන්න, පන්සල් වැඩිදියුණූ කරන්න මුදල් වෙන්කරපු, කටයුතු කරපු එකම රජය එක්සත් ජාතික පක්ෂ රජය කියලා මම බය නැතිව කියනවා.”

Read more

Local News