එල්.ටී.ටී.ඊ සංවිධානය යළි නගා සිටුවිය යුතු බවට ප්‍රකාශයක් සිදුකළ බව කියන අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ගය පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නීතිපතිවරයා වෙත සිහි කැඳවීමක් යොමු කර ඇත.
අදාළ පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිළධාරින් අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි.
නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකාරිය සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ගය පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙස දන්වමින් නීතිපතිවරයා වෙත සිහිකැඳවීමක් යොමුකිරීමට නියම කළේය.
අනතුරුව නඩුව දෙසැම්බර් මස 13 වනදා කැඳවීමට ද නියම කළේය.
මෑතකදී උතුරේ පැවති ජන හමුවකදී අදහස් දැක්වූ විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය කොටි සංවිධානය යළි නඟාසිටුවිය යුතු බවට ප්‍රකාශයක් සිදුකළ බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුකරන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.




