රටක් ජයග්‍රහණය කරා මිස කිසිඳු අවස්ථාවක පරාජය කරා ගමන් නොකළ යුතු බව අවධාරණය කරන ජනාධිපතිතුමා අද දවසේ ඉටුකිරීමට නොහැකි වූ දේ හෙට දවසේ රට සහ ජනතාව වෙනුවෙන් ඉටුවිය යුතු බව අවධාරණය කරයි.
“පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ සිදු කෙරුණු සංවර්ධන කාර්යයන් රැසක් ජනතා අයිතියට පවරාදීම සහ ප්රතිලාභ බෙදාදීම අද (01) දිනය පුරා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර පොළොන්නරුව මහ රෝහලේ විවෘත කිරීම් රැසකින් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ රට වශයෙන් ඉටුකළ කාර්යභාරයට ප්‍රමුඛත්වය ලබාදුන්නා සේම පොළොන්නරුවට සංවර්ධනයේ සාධාරණයක් ඉටුකිරිමට තමා ගත් වෙහෙස අද මල් ඵල ගැන්වී තිබෙන බවයි.
පොළොන්නරුව සංවර්ධනයට තමාට සියලුදෙනාගෙන් ලැබුණු සහය රට වශයෙන්ම ගෙන ගිය වැඩපිළිවෙළට ද හිමිවූවානම් අද රට ද පුළුල් වෙනසකට ලක්ව තිබෙනු ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා නිදහස, ප්රජාතන්ත්රවාදය, මාධ්‍ය නිදහස සමඟ රට සහ ජනතාව වෙනුවෙන් සුවිශේෂ වැඩකොටසක් තම පස් වසරක ධූර කාලය තුළ ඉටු කිරීමට හැකි වුව ද තමා රටත් ජනතාවත් වෙනුවෙන් තැබූ අපේක්ෂාවන්ගේ සහ අධිෂ්ඨානයන්ගේ අවසානය කරා ළගාවීමට බොහෝ බාධාවන් මතු වූ බව ද කියා සිටියේය.
තම ප්‍රතිපත්තිවලට සහ දර්ශනයට ගැළපෙන මෙන්ම අදහස්වල එකඟවන පිරිසක් වගකීම් දැරුවානම් ඉකුත් පස් වසර තුළ රට සහ ජනතාව වෙනුවෙන් මීට වඩා බොහෝ කාර්යයන් ඉටුකිරීමට හැකිව තිබු බවද ජනාධිපතිතුමා කියා සිටියේය.



