ජනාධිපතිවරණ අපේක්ෂකයින් පළාත් සභා මැතිවරණ පැවැත්වීම පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක් කළ යුතු බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.
සියලු පළාත් සභාවල නිල කාලය මේ වන විට අවසන්ව ඇති අතර ඇතැම් පළාත් සභාවල නිලකාලය ඉකුත් වී වසර ගණනාවක් ද ගතවී ඇති බව කැෆේ සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා දෙයි.
නියමිත ආකාරය නම් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම වුවද මේ වනවිට ජනාධිපතිවරණය මුලින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් ජනාධිපතිවරණයට පසුව මහමැතිවරණයක් පැවැත්වීමේ සූදානමක් පිළිබඳව වාර්තා වන බව හෙතෙම ප්‍රකාශ කළේය.
මෙම තත්ත්වය රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි බරපතල බලපෑම් එල්ල කරන්නක් බව මනාස් මකීන් මහතා සදහන් කරයි.
ජනාධිපති අපේක්ෂකයින් මැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු ඉදිරිපත් කරන නමුත් පළාත් සභා පිළිබදව කිසිදු අදහසක් නොදැක්වීමෙන් පැහැදිලි වන්නේ ඔවුන් පළාත් සභා පිළිබඳව අවධානයක් යොමු කර නැති බවයි.
මේ නිසා වහාම ජනාධිපතිවරණ අපේක්ෂකයින් පළාත් සභා ක්‍රමය පිළිබද සිය ස්ථාවරය ප්‍රකාශ කළ යුතුව ඇති බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි.
රජය නිසි කාලය තුළ පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම නිසා මේ වනවිට පළාත් සභාවල බලතල ආණ්ඩුකාරවරුන් යටතට පත්ව ඇති බවත් ඇතැම් ආණ්ඩුකාරවරුන් විසින් අත්තනෝමතික ලෙස පළාත් සභාවේ සම්පත් දේශපාලන ක්‍රියාවලිය සඳහා භාවිත කරමින් සිටින බවත් කැෆේ සංවිධානය අවධාරණය කරයි.
මේ නිසා තමන් බලයට පත්වූ වහාම පළාත් සභා සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක් දැයි සියලු අපේක්ෂකයින් අවධාරණය කළ යුතු බව කැෆේ සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.



