ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 2ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත.
එල්. ටී. බී.දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා විසින් එම තීරණය ප්‍රකාශයට පත් කර තිබේ.
එහෙත් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් කර තිබූ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරන බවද ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල සඳහන් කර ඇත.
ඉන් අනතුරුව පෙත්සම ජුනි මස 10 වනදා විභාගය ගැනීමට අධිකරණය නියම කළේය.
පූජ්‍ය දඹර අමිල හිමියන් සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ යන අය විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, සහ නීතිපතිවරයා නම් කර තිබේ.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට දැරිය හැක්කේ ආරක්ෂක අමාත්‍යාංශය සහ පරිසර හා මහවැලි අමාත්‍යාංශය පමණක් බවයි.
එසේ තිබියදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තමන් යටතට පවරා ගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී බව පෙන්වා දෙන ඔවුන් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගින් සහතික කර තිබෙන ප්‍රතිපාදන උල්ලංඝනය වන බව ද පෙන්වා දුන්නේය.
නඩු විභාගය පැවැති අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මිය සඳහන් කර තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙවැනි ආයතන පවරා ගැනීමක් සිදු කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය පවතින බවයි.
එබැවින් ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාදාමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු වී ඇති බවත් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සදහන් කර සිටියේය.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තමන් යටතට පවරා ගනිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බල ශූන්‍ය බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පෙත්සම්කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.




