ඉදිරි වසර දෙක තුලදී ආහාර වර්ග කිහිපයක් ආනයනය කිරීම නවත්වන බව රවී කියයි

Share

ඉදිරි වසර දෙක තුලදී ආහාර වර්ග කිහිපයක් ආනයනය කිරීම නවත්වන බවත්, එම ආහාර දේශීය වශයෙන් වගා කිරීමට පියවර ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂ උපනායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඒ තුළින් යාපනයේ ගොවි ජනතාවට තමාගේම වගාවන් තුලින් රටට ආහාර ද්‍රව්‍ය සපයන්න වැදගත් අවස්ථාවක් උදා වන බවද අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පැවසුවේ ඊයේ (03) චාවාකච්චේරිය ප්‍රදේශයේ ජනපති ජය තහවුරු කිරීමේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ රැලියකට සහභාගි වෙමිනි.

එහිදි අමාත්‍යරයා පැවසුවේ තම පාර්ශවයට අවශ්‍ය වන්නේ ස්ථිරසාර විසදුම් මිස රටට විහිළු සැපයීම නොවන බවයි.

“අද කෘෂිකර්ම ඇමති අභියෝගයක් බාරගෙන තිබෙනවා, ලොකු ළූණු, අල, මිරිස් ආදිය ආනයනය තවත් වසර 2, 3 කින් නවත්තලා, මේ රටේම වගා කරනවා කියලා. ඒ නිසා යාපනයේ ගොවි ජනතාවට වැදගත් අවස්ථාවක් උදාවෙනවා තමාගේ වගාවන් තුලින් රටට ආහාර  ද්‍රව්‍ය සපයන්න.

වසර 5 කට කළින් මේ ප්‍රදේශ වල විදුලියනය ඉතාමත් අඩුයි. අද අපි මේ ප්‍රදේශ වල විදුලි අවශ්‍යතාව 90% කට වඩා සපයලා තිබෙනවා. මේ ප්‍රදේශයේ ද්‍රවිඩ නිවාස වලට සිංහල මනුකියවන්නන් පැමිණීමේ තිබූ ගැටළුව අපි විසදුවා. අද වනවිට ද්‍රවිඩ මනුකියවන්නන් 43 ක් මේ ප්‍රදේශ වලින් පත් කරලා තිබෙනවා.

මේ ආකාරයෙන් ඉදිරියේදීත් මේ ප්‍රදේශ සෑම ආකාරයෙන්ම සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් අපි දියත් කරනවා. අපට අවශ්‍ය වන්නේ ස්ථිරසාර විසදුම් මිසක් විහිළු සැපයීම නෙවෙයි”  යැයි වැඩිදුරටත් පැවසීය.

Read more

Local News