මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරිම යනු 1988න් පසුව එක්සත් ජාතික පක්ෂය නොලැබුණු රාජ්‍ය නායකත්වය නැවත හිමිකර ගැනීම බව අමාත්‍ය නීතිඥ, අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
කුලියාපිටිය මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රාදේශීය හා කොට්ඨාස මට්ටමින් පැවැති ජනහමු අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ හැමදෙනාම කැපවී ක්‍රියාකරන බවත් ජනපතිවරණ ජය හිමිවීමත් සමග ජනාධිපති, අගමැති හා කැබිනට් මණ්ඩලයේ සියලු දෙනාම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට ලැබෙන බවද අමාත්‍යවරයා පැවසීය.
එක්සත් ජාතික පක්ෂය තුළ පැවති සියලු මතවාද හමාර කරමින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ඒකමතිකව පත්කරනු ලැබීමෙන් පසුව ඔහුගේ ජයග්‍රහණය පතා සියලු දෙනා කටයුතු කරන බවත්, ඔහුගේ ජයග්‍රහණයත් සමඟ ඉදිරි අවුරුදු පහේ දි රටේ ඉතිරි සංවර්ධන ක්‍රියාදාමය සම්පූර්ණ ව හා සාර්ථක ව ඉටුකිරීමට හැකිවන බවත් නිදහසේ ජීවත්වීම සඳහා ඇති කරන ලද වාතාවරණය නැවත ජනතාවට ලබාදීමට හැකිවන බවත් මහලේකම්වරයා පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරණ සටන ජයග්‍රහණය කිරීම සඳහා දේශපාලන පක්ෂ පාට බේදයෙන් තොරව පක්ෂ හා සංවිධාන 47ක් හංසයාට සහයෝගය දීමට ගිවිසුම් අත්සන් කරන ලද බවත්, රාජපක්ෂ නම් එකම පවුලක් බලයට ගෙනවිත් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට අවස්ථාව සලසා දීමට විරුද්ධව සියලු ප්‍රගතිශීලී බලවේග එකතු වී සිටින බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා වැඩිදුරටත් කීවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසීය.
“2015 දි අපේ ආණ්ඩුවක් පත්කර ගන්නට අපේ ම කියා ජනාධිපතිවරයකු හිටියේ නැහැ. නිර්පාක්ෂික වෙනවා යැයි කීවාට එතුමා නිර්පාක්ෂිකයෙක් ද කියා තමුන්නාන්සේලා දන්නවා.
අපට මේ අවුරුදු තුනහමාරේ දී ජාතික ආණ්ඩුවක් වශයෙන් ක්‍රියා කළ නිසා බොහෝ කටයුතු කළ නොහැකි වුණා. බාධා මැද කළ හැකි හැමදේම කළා. අවසාන මාස හයේ දී තමයි අපට වේගයෙන් වැඩ කරන්න පුළුවන් වුණේ
මෙදා ජනාධිපතිවරණයේ දි වෙනදාට වඩා ගම්වල ජනතාව උද්යෝගයෙන් ඉදිරියට ඇවිත් සිටිනවා. ඒ බව දවස ගානේ එකතුවන ජනතාවගෙන් පෙනෙනවා. කැපීපෙනෙන වෙනසක් සිදු වී තිබෙනවා.
පොහොට්ටුවේ සාමාජිකයින් පවා අප සමග එක්වෙනවා, ‘හංසයා’ ජයග්‍රහණය කරවීම සඳහා ජනතාව තුළ වෙනදාට වඩා උද්යෝගයක් ඇති වී තිබෙනවා. පක්ෂ පාට බේදයෙන් තොරව එක් වී ජනාධිපතිවරණයෙන් ජය ලබා ගෙන රට සංවර්ධනය කොට නිදහසේ ජිවත්වීම සඳහා ලැබෙන අවස්ථාව පැහැර නොහරින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා” යැයි ද මහලේකම්වරයා සඳහන් කළේය.



