MCC ගිවිසුම අත්සන් කිරීම නතර කරන්න – නීතීඥ සංගමය රජයට කියයි

Share

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමේ කටයුතු අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

එම සංගමය සිය ලිපිය මඟින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ගිවිසුම වහා ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව අමෙරිකානු රජයට සහ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගම වෙත දන්වන ලෙසයි.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සඳහා අද (05) දිනයේදී අත්සන් තැබීමට මුදල් අමාත්‍යාංශය කටයුතු සූදානම් කරමින් සිටින බවට තම සංගමය වෙත විශ්වසනීය තොරතුරක් ලැබී ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය නිවේදනය මඟින් පවසයි.

එම සංගමය පෙන්වා දෙන්නේ, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමේ, ණය මුදලක් ලබාගැනීම හෝ ආධාර මුදලක් සඳහා වන සරල ගිවිසුමකට එහා ගිය කරුණු ඇතුළත් බවත්, භූමිය හා අධිකරණ බලතලවලට අදාළ නියමයන් රැසක් එහි අන්තර්ගත බවයි.

අදාළ කරුණු මුදල් අමාත්‍යංශයේ කාර්ය සීමාවෙන් ඔබ්බට ගිය කරුණු වන බැවින්, ගිවිසුම අත්සන් තැබීමට මුදල් අමාත්‍යංශයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි නොවිය යුතු බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.

රටේ ස්වාධිපත්‍යයට දැඩි බලපෑම් එල්ල විය හැකි මෙවන් තීන්දුවක් ගැනීමේදී, යහපාලන සංකල්පයේ මූලික හරය වන රජයේ සාමූහික වගකීම හා ව්‍යවස්ථාපිත වගවීම වැනි කරුණු පවා මේ අවස්ථාවේදී නොසලකා හැර තිබේ.

නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ, ප්‍රමාණවත් තරමේ සාකච්ඡා හා කතාබහක් ඇති වන තුරු මෙම ගිවිසුම ප්‍රමාද කරන ලෙස මෙරට පළපුරුදු දේශපාලනඥයෙක් වන අගමැතිවරයාගෙන් තම සංගමය ඉල්ලා සිටින බවයි.

Read more

Local News