ඔබේ ප්‍රශ්න අපේ ප්‍රශ්න කරගෙන විසදුම් ලබාදීමට කටයුතු කරනවා

Share

ජනතාවගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න කර ගනිමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ උපනායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළකලේ ඊයේ (04) පස්වරුවේ මට්ටක්කුලිය, කදිරාන ප්‍රදෙශයේ පැවති ජනපති ජය තහවුරු කිරීමේ රැස්විමකට සහභාගි වෙමිනි.

හැකියාවට රැකියාවක් ලබාදෙමින්, තරුණ ප්‍රජාව නගා සිටුවාලීමේ කාර්යය ඉටුකරන බවට තමන් පොරොන්දු වන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

සිය පාර්ශවයේ එකම අභිලාශය වන්නේ,  නිවාස අහිමි ජනතාවගේ සිහින මාළිගය‍ යථාර්තයක් බවට පත්කිරීම බවද ඒ මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ,

“කව්රුත් කැමති තමන්ට තමන්ගේම කියලා නිවසක ජීවත් වෙන්න. අපේ එකම අභිලාශය වන්නේ, මේ උතුරු කොළඹ ප්‍රදේශයේ නිවාස අහිමි ජනතාවගේ සිහින මාළිගය‍ යථාර්තයක් බවට පත්කිරීමයි.

රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ නිවාස සංකල්පය, අද එතුමාගේ පුතා ඉදිරියට ගෙනයනවා. ඒ තුළින් වසර 10 ක් යන්න කළින් මේ ප්‍රදේශයේ නිවාස ප්‍රශ්නය සම්පුර්ණයෙන් විසදනවා කියලා මම වගකීමෙන් පවසනවා.

අපි තරුණ තරුණියන්ට හැකි අයුරින් රැකියා ලබා දුන්නා. නමුත් ඒවා ප්‍රමාණවත් නැහැ. හැකියාවට රැකියාවක් ලබාදෙමින්, තරුණ ප්‍රජාව නගා සිටුවාලීමේ කාර්යය ඉටුකරන බවට මම පොරොන්දු වෙනවා.

මේ ප්‍රදේශයේ පාරවල් වාහන යන්න නෙමෙයි, බෝට්ටු යන්න පුළුවන් ඒවා. තවත් මාස 06 ක් යන්නට මත්තෙන් මේ අඩුපාඩු, යටිතල පහසුකම් සියල්ල සම්පූර්ණ කරලා, ඔබේ ප්‍රශ්න අපේ ප්‍රශ්න කරගෙන විසදුම් ලබාදීමට කටයුතු කරනවා කියලා මම වගකීමෙන් පවසනවා.

ඒ නිසා තව දින කිහිපයකින් උදාවෙන ජනාධිපතිවරණයේදී මේ ප්‍රදේශයෙන් 85% කට අධික ඡන්ද ප්‍රමාණයක් ලබාදීලා, සජිත් ප්‍රේමදාස මහතාට විජයග්‍රහණයක් ලබාදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා”

” වසර 5 කට කළින් ජනතාව නිර්භීතව අපට වරමක් ලබා දුන්නා. එදා තිබුණ ඒකාධිපතිවාදය නැති කරලා, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නයි ඔබ එදා අපට ඒ බලය ලබා දුන්නේ. අපිට හැකිවුණා ඔබ බලාපොරොත්තු වූ ආකාරයෙන් බියෙන් සැකයෙන් තොරව ජීවත්වීමට, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න අපිට හැකිවුණා.

නමුත් හවුල් ආණ්ඩුවකින් ඇතිවූ අවුල් නිසා ජනතා බලාපොරොත්තු නිසි පරිදි ඉටු කරන්න අපට නොහැකිවුණා. මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, නැවත වරක් අපි කෙරෙහි  විශ්වාසය තබලා අපට වරමක් ලබාදෙන්න අපේම ආණ්ඩුවක් තුළින් ඔබගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ඨ කරන්න කියලයි.”

Read more

Local News