මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරීයේ යෙදීසිටියදී දිවි පිදු අපේ විරුවන් වෙනුවෙන් වන්දි මුදල් ප්‍රදානය කෙරේ

Share

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා සක්‍රීය සේවයේ යෙදී සිටියදී ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන් දෙදෙනෙකුට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රදානය කරන ලද වන්දි මුදල් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් දිවි පිදු රණවිරුවන්ගේ ළඟම ඥාතීන් වෙත ප්‍රදානය කර ඇත.

මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරියේ නිරතව සිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාම සාධක භට පිරිසක් 2019 ජනවාරී මස 25 දින මාලි රාජ්‍යයේ වේලාවෙන් පෙරවරු 6.00 ට පමණ බටහිර අප්‍රිකාවේ මාලි රාජයේ කීරනා (Keerana) ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකට ලක්වී 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවට අනුයුක්තව රාජකාරි කල මේජර් එච්.ඩබ්ලිව්.ඩි. ජයවික්‍රම සහ 1 වන ශ්‍රී ලංකා යාන්ත්‍රිකපාබල රෙජිමේන්තුවට අනුයුක්තව රාජකාරි කල සැරයන් එස්.එස්. විජේකුමාර ජිවිතක්‍ෂයට පත්විය.

දෛනික මෙහෙයුම අවසන් කරමින් WMZ සංග්‍රාමික රථයකින් පැමිණෙමින් සිටියදී මෙලෙස ප්‍රහාරයට ලක්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විරෝදාර රණවිරුවන් දෙදෙනෙකු ජිවිතක්‍ෂයකට පත්වු අතර තවත් යුද්ධ හමුදා සාමාජිකයින් තිදෙනෙකුට තුවාල සිදුවිය.

පසුගිය මාස කිහිපය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වන්දි මුදල් ලබා දුන් අතර එම මුදල් දරුවන්, බිරින්දෑවරුන් සහ දෙමාපියන් අතර බෙදාදීමට නියමිතය.

දිවිපිදු මේජර් ජයවික්‍රමගේ පියාට සහ මවට අද (05) දින වන්දි මුදල් එලෙසම ලබාදුන්හ.

එලෙසම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපදෙස් හා වන්දි ගෙවීමේ රාමුවට අනුව දිවිපිදු සැරයන් විජේකුමාරගේ මව, බිරිඳ සහ කුඩා දියණියන් දෙදෙනා අතර බෙදීයන සේ එම අවස්ථාවේදී වන්දි මුදල් ප්‍රදානය කරන ලදී.

කෙසේවෙතත්, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව, දිවිපිදු සැරයන්ගේ එස්.ජී.ජී.එන්.විජේකුමාර සහ එස්.අයි.ඒ. විජේකුමාර යන පාසල් යන දියණියන් දෙදෙනාට වයස අවුරුදු 18 ක් සම්පුර්ණ වන තෙක් පවුලේ එකඟතාවය මත එම මුදල් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පත් කරන ලදී.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඔවුන්සමඟ සුහදව අදහස් හුවමාරු කරගැනීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලබා දුන් වන්දි මුදලට අදාළ ප්‍රේෂණ පත් දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත ප්‍රදානය කරන ලදී.

එම විරෝදාර රණවිරුවන් අකාලේ මිය නොගිය බවත්, ගෝලීය සාමය යථා තත්ත්වයට පත් කිරීමේ උදාර අරමුණ පෙරදැරීව විදේශීය භූමියකසිය ජීවිත පරිත්‍යාග කළ බවත් යුද්ධ හමුදාධිපතිතුමන් දිවිපිදු රණවිරුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත මතක් කර දුන්නේය.

Read more

Local News