බිරිඳ හා දරුවන් දෙදෙනා පිළිස්සූ පියාට මරණීය දණ්ඩනය

Share

2012 වසරේ රත්මලාන ප්‍රදේශයේදී නිවසක කාමරයක් තුළ 35 හැවිරිදි සිය බිරිඳ, 3 හැවිරිදි පුත්‍රයා සහ මාසයක් වයසැති දරුවකු පුළුස්සා මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු මනුරංග ද සිල්වා නැමැති විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් මරණීය දණ්ඩනය ප්‍රකාශයට පත් කළේය.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු විසින් අපරාධය සිදුවීමෙන් පසුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ලබාදුන් අපරාධ උච්චාරණය මඟින් ඔහු විසින් මෙම අපරාධය සිදු කර ඇති බවට පිළිගෙන ඇති බව සඳහන් කළේය.

ඊට අමතරව රජයේ රස පරීක්ෂකවරයා විසින් ලබා දුන් සාක්ෂියට අනුව මරණකරුවන් තිදෙනා මෙම විත්තිකරු විසින් පුළුස්සා මරා දමා ඇති බවට සාක්ෂි ප්‍රකාශ කර ඇති බවද විනිසුරුවරයා සඳහන් කළේය.

ඊට අමතරව රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ලබාදුන් සාක්ෂිවලින් මියගිය සචේතනා සඳමාලි නැමති විත්තිකරුගේ භාර්යාව සහ ඔහුගේ වැඩිමහල් වයස තුනක් වූ දරුවා විත්තිකරු විසින් ගෙල සිර කිරීමෙන් පසු මරණයට පත්කර ඇති බවත් මාසයක් වයසැති දෙවන දරුවා මවගේ කිරි උරා බොමින් සිටි අවස්ථාවේ ඇතිවූ ගින්නෙන් මිය ගොස් ඇති බවට මත පළ කර ඇති බවත් විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු අනුව මෙම ත්‍රිත්ව ඝාතනය විත්තිකරු විසින් සිදුකර ඇති බවට සාධාරණ සැකයකින් තොරව ඔප්පු වන බව සඳහන් කළ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඒ අනුව ඔහුට මරණීය දණ්ඩනය පනවන බව ද සිදු කළේය.

2012 වසරේ වනදා රත්මලාන, ගොලුමඩම ප්‍රදේශයේදී සිය බිරිඳ වන සචේතනා සඳමාලි ප්‍රනාන්දු සහ වයස අවුරුදු තුනක් සහ මාස තුනක් වයසැති දරුවන් දෙදෙනා සමඟ සිය නිවස තුළදී ගිනි තබා මරා දැමීම සම්බන්ධයෙන් පෞද්ගලික සමාගමක විධායක නිලධාරියෙකු ලෙස සේවය කළ විජයමුණි මධුර මනරංඟ නමැත්තාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

Read more

Local News