මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

බස්නාහිර පළාතේත් ගාල්ල, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු, උතුරු-මැද, සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත්වල විශේෂයෙන් උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

මේ අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “බුල්බුල්” සුළි කුණාටුව මේ වනවිට, චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති අතර දැන් එය, උතුරු අක්ෂාංශ 16.3 ත් නැගෙනහිර දේශාංශ 87.9 ත් ආසන්නයේ පවතී.

එය ඉදිරි පැය 24 තුළ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන්කර බටහිර බෙංගාල- බංගලාදේශ වෙරළ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

උතුරු අක්ෂාංශ 13ත් 22ත් සහ නැගෙනහිර දේශාංශ 83ත් 94ත් අතර මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි, ඉතා තද සුළං සමඟ මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක.

නොවැම්බර් 11 වනදා දක්වා නාවික හා ධීවර ප්‍රජාවට (විශේෂයෙන්ම බහුදින ධිවර යාත්‍රාවලට) ඉහත මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙසට උපදෙස් දෙනු ලබන අතර මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සුළං නිරිත දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කි.මී.(20-40) පමණ වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

Read more

Local News