දෛනිකව මෙරට නීති විරෝධී ගබ්සා 658ක් සිදුවන බවට වාර්තා වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ගම්පහදී ඊයේ (10) පැවති ජන රැලියක් අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වත්මන් සමාජයේ කාන්තාවගේ ආරක්ෂාව බරපතල ලෙස අවදානමකට ලක්ව ඇති බවයි.
පොදු ප්‍රවාහන සේවය උපයෝගී කර ගන්නා කාන්තාවන්ගෙන් සියයට 90ක් එක් වතාවක් හෝ ලිංගික අඩත්තේට්ටමකට ලක්ව ඇති බව රුහුණු විශ්වවිද්‍යාලය විසින් සිදු කරනු ලැබු සමීක්ෂණයකින් හෙළි වී ඇති බව පැවසු අනුර කුමාර මහතා, එයින් සියයට 70 ක් ශාරීරික ලිංගික අඩත්තේට්ටම් බව පැවසීය.
අපගේ දියණියක්, සහෝදරියක් හෝ බස් රථයක නිදහසේ ගමන් කළ නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව පැවසු ඒ මහතා, මෙවැනි රටක් අපට අවශ්‍ය ද යන්න ප්‍රශ්න කර සිටියේය.
රජයේ කාර්යාලයක හෝ පෞද්ගලික කාර්යාලයක වැඩ කරන කාන්තාවන්ට සිදුවන්නේ යම් අණසකට යට වීමට බව ද පැවසු ඒ මහතා, ඒ බලපෑමට යටත් නොවන්නේ නම් ඇයගෙන් රාජකාරීමය වශයෙන් පළිගන්නා බවත් පැවසීය.
එක් කාන්තාවකට හෝ එවැනි ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය දැයි විමසා බැලු අනුර කුමාර මහතා, වසර 71 ක් මෙරට පාලකයින් රට පාලනය කෙරුවද කාන්තාවන්ට ආරක්ෂකව පිරිසිදුව යෑමට වැසිකිලි පද්ධතියක් හෝ නොමැති බව කියා සිටියේය.
ගැබ් ගෙල පිළිකා ඇති වීමට ඇති ප්‍රධානතම හේතුව වන්නේ සෞඛ්‍ය ආරක්ෂිත නොවු වැසිකිලි පද්ධතියක් බවත්, මෑතකදී හෙළි වු කරුණු අනුව ලංකාවේ දිනකට නීති විරෝධි ගබ්සාවන් 658 ක් සිදුවන බවත් ඒ මහතා පැවසීය.




