පෙළපොත් සම්බන්ධයෙන් හෙළි වු මුල්‍ය වංචා ගැන පරීක්ෂණයක් කරන්න – ලංකා ගුරු සංගමය

Share

2018 විගණකාධිපති වාර්තාවෙන් 2019 වසරට අදාළ පෙළපොත් සම්බන්ධයෙන් කෝටි ගණනක මුදල් අවභාවිතා වී ඇති බව එළිදරව් වී තිබීම පිළිබඳව පරීක්ෂණයක් කර වගකිවයුත්තන්ට දඩුවම් කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසයි.

අධ්‍යාපන ග‍්‍රන්ථ ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව 2019 වසර සඳහා පාසල් පෙළපොත් මුද්‍රණයේ දී හා බෙදා හැරීමේදී කෝටි ගණනක මුදල් අවභාවිතා කර ඇති බව 2018 විගණකාධිපති වාර්තාවෙන් පැහැදිලිව පෙන්වා දී ඇති බව ඔවුන් නිවේදනයක නිකුත් කරමින් පවසයි.

එම වාර්තාව අනුව අමාත්‍ය මණ්ඩල ප‍්‍රසම්පාදන කමිටුවේ අවසරයකින් තොරව අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් 2019 වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 3,499.25 ක් වටිනා පොත් වර්ග 419 ක පිටපත් 39,714,000 ක් රාජ්‍ය ආයතන දෙකකින් හා පෞද්ගලික මුද්‍රණකරුවන් 27 දෙනෙකුගෙන් මුද්‍රණය කරවාගෙන ඇත.

ප‍්‍රසම්පාදන කමිටුවේ අවසරයකින් තොරව මුද්‍රණ කරුවන්හට පෙළපොත් මුද්‍රණ වගකීම පැවරීම විගණනයෙන් අනාවරණය වී ඇති තත්ත්වය තුළ ඒ පිළිබඳව වහා පරීක්ෂණයක් කළ යුතුය.

අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයාගේ අභ්‍යන්තර චක‍්‍රලේඛ 9/2014 හි 9 වන ජේදයට අනුව පෙළ පොත් බෙදාහැරීම සම්බන්ධයෙන් ගබඩාවල පෙළපොත් තබාගත නොහැකි අතර, අත්‍යවශ්‍ය පෙළපොත් අවශ්‍යතාවය නිවැරදිව ගණනය කර පාසල් විසින් කරනු ලබන ඉල්ලූම අනුව ලබාදිය යුතුය.

එහෙත් කොළඹ ප‍්‍රදේශයේ පාසල් 11 කට අවශ්‍යතාවය ඉක්මවා පෙළපොත් 10,545 ක් දෙපාර්තමේන්තුව විසින් වැඩිපුර නිකුත් කර ඇති බව ද එම විගණකාධිපති වාර්තාව පෙන්වා දෙයි.

එසේම 2018 වර්ෂයේදී බෙදාහැරීම සඳහා නව විෂය නිර්දේශය යටතේ මුද්‍රණය කළ 3 ශ්‍රේණිය ඉංගීසි වැඩ පොත, ඉංගී‍්‍රසි ලිවීම් පොත සහ ඉංගී‍්‍රසි පෙළ පොත යන පොත් තුනම දෝෂ සහිතවීම නිසා 2019 වර්ෂයේදී නැවත වරක් මුද්‍රණය කිරීම හේතුවෙන් 2018 වර්ෂයේ අවශ්‍යතාවයට වඩා වැඩිපුර රුපියල් මිලියන 5.72 ක් විටිනා පොත් 27,275 ක් සිසුන්ගේ භාවිතයකින් තොරව ඉවත් කර තිබූ බව ද විගණකාධිපති වාර්තාව සඳහන් කරයි.

2017 වර්ෂයේදී 2018 වර්ෂය වෙනුවෙන් මුද්‍රණය කළ පොත් වර්ග 106 ක දීප්තිය වෙනස්වීම හේතුවෙන් රුපියල් මිලියන 6.13 ක දඩ මුදලක් අය කර තිබුණද 2019 වර්ෂය වෙනුවෙන් 2018 වර්ෂයේදී මුද්‍රණය කරන ලද පොත්වල පිටකවර හා ඇතුළත කඩදාසි දෙපාර්තමේන්තුව නියම කළ පිරිවිතරට අනුව පැවතීම සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් කර නොමැති බවද විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ.

මේ ආකාරයට මුද්‍රණකරුවන් සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීම දුෂිත තත්ත්වයකි.

වාර්ෂික පොත් අවශ්‍යතාවය නිවැරදිව හඳුනා නොගැනීම නිසා අතිරික්ත පොත් තොග ඉහළ යාම මෙන්ම එම පොත් ගබඩා කිරීමේ දුර්වලතා හේතුවෙන් 2016, 2017 හා 2018 වර්ෂවල පෙළ පොත් හා ගුරු අත්පොත් හා අතිරේක කියවීම් පොත් 1,190,691 ක් ප‍්‍රමාණයක් අපහරණය වී ඇති බවද 2018 විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ.

මේ අනුව පැහැදිලි වන්නේ අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තු පෙළපොත් මුද්‍රණයේදී කෝටි ගණනින් මුදල් අවභාවිතා වීමට ඉඩ හැර ඇති බවයි.

මෙම තත්ත්වය ඇති වී ඇත්තේ 2019 වසරට අදාළව නිසිලෙස පෙළ පොත් බෙදී නොමැති තත්ත්වයකය.

මේ පිළිබඳව වහා විධිමත් පරීක්ෂණයක් සිදු කර වගකිව යුත්තන් සම්බන්ධයෙන් කි‍්‍රයාමාර්ග ගත යුතු බව ලංකා ගුරු සංගමය අවධාරණය කරයි.

Read more

Local News