ගල් තලාවක් පුපුරුවා නිධන් හෑරූ 2ක් අත්අඩංගුවට

Share

පූජාපිටිය, පොලිස් බල ප්‍රදේශයට අයත් මොලගොඩ ප්‍රදේශයේ වලව්වකට අයත් පුද්ගලික ඉඩමක ගල් තලාවක් පුපුරුවා නිදන් හෑරූ බව කියන සැකකරුවන් දෙදෙනෙකු කැනීම් සඳහා යොදා ගත් උපකරණ සමඟ පූජාපිටිය පොලීසියේ දූෂණ මර්දන අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

පූජාපිටිය පොලීසියේ දූෂණ මර්දන අංශයට ලැබුණු තොරතුරක් අනුව අදාළ ස්ථානයට පොලිස් නිලධාරින් ඊයේ (21) දින සවස ගොස් ඇති අතර ඒ වන විට අදාළ ස්ථානයේ කැණීම් සිදු කර නැවත කැණීම් කිරීම සඳහා නවතා තිබී ඇත.

මෙම කැනීම් සම්බන්ධයෙන් සැකකරන පුද්ගලයින් දෙදෙනා සොයා ඔවුන්ගේ නිවෙස්වලට ගොස් පරීක්ෂා කරීමේදී මෙම කැනීම් සඳහා උපයෝගී කර ගත් කැනීම් උපකරණ  විදුලිය ලබා ගැනීම සඳහා යොදා ගත් වයර්, මෙම කැණීම්වලදී ලබාගත් බව කියන පාෂාණ තොගයක්ද සොයා ගනු ලැබ තිබේ.

මෙම ස්ථානයෙන් ලබා ගත් බවට සැකකරන මෙම පාෂාණ විශේෂය සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තාමේන්තුවෙන් සහ අදාළ ආයතනවලින් වාර්තාවක් ලබා ගැනීමටත් පොලීසිය කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (22) ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරිමට නියමිතව තිබිණ.

පූජාපිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුලරත්න මහතාගේ උපෙදස් මත දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති සැරයන් 23635 විජේසිංහ, සැරයන් 50660 ප්‍රසන්න, පොකො 47112 දිසානායක යන නමත්වරුන් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරති.

Read more

Local News