වෙළඳසැලකට කඩාවැදී අවි ආයුධ පෙන්වා එහි හිමිකරු හා සේවකයින් බියගන්වා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් බරපතළ වැඩ සහිත වසර 27 ක සිරදඬුවම් නියම කළේය.
මෙම විත්තිකරුවන් දෙදෙනාට පෙර වැරදි පැවැති හෙයින් ඔවුන්ට මෙලෙස බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරන බව විනිසුරුවරයා තීන්දුව ප්රකාශයට පත් කරමින් සඳහන් කළේය.
ඊට අමතරව විත්තිකරුවන් දෙදෙනාට රුපියල් 90000/-ක් බැගින් දඩ ද නියම විය.
මහරගම ප්රදේශයේ පිහිටි වෙළෙඳ සැළකට කඩාවැදී ගිනි අවි පෙන්වා සේවකයන් බියගන්වා රන්භාණ්ඩ සහ රුපියල් 148000 ක මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.
ඒ අනුව ඔවුන්ට මෙම දඬුවම් නියම කරන බවද විනිසුරුවරයා සඳහන් කළේය.



