අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ වාචික දේශන ඉදිරිපත් කිරිම පෙබරවාරි මස 26 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
මෙම වාචික දේශන අද (04) දින සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
එහෙත් විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා නිවාඩු ලබා සිටීම හේතුවෙන් නඩුවේ වාචික දේශන ඉදිරිපත් කිරිම ලබන පෙබරවාරි මස 26 වනදා දක්වා කල් තැබීමට සිසිර ද ආබෲ සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල නියම කළේය.
2017 වසරේ අරලියගහ මන්දිරයේ දී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකළ රංජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයින් වශයෙන් ප්‍රකාශයක් කර තිබුණි.
එම ප්‍රකාශය තුළින් රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් රන්ජන් රාමනායක මහතාට එරෙහිව එම චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබේ.



