ඉකුත් ජනාධිපතිවරණය සමයේ සිදු කෙරුණු සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් තමන්ව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අද(20) සවස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළිත් අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කළේය.
රහස් පොලිසියේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
රාජිත සේනරත්න මහතා එම ඇප අයදුම්පත මගින් සඳහන් කර සිටින්නේ අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු ඉදිරිපත් කළ ප්‍රකාශ මත තමන්ව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමට රහස් පොලීසිය සූදානම් වන බවයි.
දේශපාලන පළිගැනීමක් වශයෙන් මෙය සිදු කිරීමට සූදානම් වන බව පෙන්වා දෙන රාජිත සේනාරත්න මහතා එසේ අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ව අපේක්ෂිත ඇපයක් මත මුදා කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබේ.
මේ අතර රාජිත සේනාරත්න මහතා විසින් ඊයේ දින ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පතක් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ප්‍රතික්ෂේප කර තිබුණි.



