ජල විදුලි උත්පාදනය ඉහළට

Share

ගත වූ පැය විසි හතරක කාලය තුළ ජලය මගින් විදුලිය උත්පාදනය කිරීම සියයට 68.34ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

 

මේ වනවිට පවතින අධික වර්ෂාව හේතුවෙන් විදුලිබල උත්පාදනය කෙරෙන ජලාශ සියල්ලම ජලධාරිතාවය සමස්තයක් ලෙස සියයට 94.55 ඉක්මවා පිරීගොස් ඇති බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව කාසල්රී ජලාශය සියයට 92.7ක්, මාවුස්සාකැලේ සියයට 92.8ක්, කොත්මලේ සියයට 89.8ක්, රන්දෙනිගල සියයට 93.6ක් හා සමනල වැව සියයට 100ක් වශයෙන් පිරී ගොස් ඇත.

එමෙන්ම 2019.12.22 දින විදුලිබල පද්ධති දෛනික වාර්තාව අනුව ජල විදුලිය මගින් උත්පාදනය කර ඇති විදුලි බලශක්ති ප්‍රමාණය සියයට 68.34ක් වේ.

ඒ හැර තාප විදුලිය සියයට 29.13ක් ද, සූර්ය බලයෙන් සියයට 0.38ක්ද, සුළං බලයෙන් සියයට 1.5ක් ද විදුලිය නිෂ්පාදනය කර තිබේ. ඊයේ දිනය තුළ සමස්ත විදුලි උත්පාදනය ගිගවොට් 32.83කි.

ප්‍රවාහණ කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (23) දින පෙරවරුවේ ලංකා විදුලිබල මණ්ඩලයෙන් මේ සම්බන්ධව විමසිමක් සිදු කළේය.

දිවයින පුරා ඉහළ මට්ටමකට වර්ෂාව ලැබෙන බැවින්  ඩීසල් ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරෙන විදුලිය උත්පාදනය තවදුරටත් සිදුවෙනවාද යන්න දැන ගැනීම සඳහා කළ එම විමසීමේදී, ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දෙන ලද්දේ දැනට සමස්ත අවශ්‍යතාවයෙන් සියයට 68කට වඩා ජලවිදුලියෙන් ලබා ගන්නා බවයි.

තවද ඉන්ධන භාවිතයෙන් සිදු කෙරෙන පුද්ගලික අංශයෙන් විදුලිය නිෂ්පාදනය, ඊයේ (22) දින වනවිට සම්පූර්ණයෙන්ම නවත්වා තිබේ.

එයට හේතුව නම් ජල විදුලිය උත්පාදනය ඉහළ යාම නිසා පුද්ගලික අංශයේ ඩීසල් බලාගාර ආශ්‍රිතව විදුලිය උත්පාදනය අවශ්‍ය නොවීමයි. එසේ වුවද තාප බලාගාරවලින් ද සියයට 29.13ක විදුලි ධාරිතාවක් උත්පාදනය කෙරේ.

Read more

Local News