දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම ප්රදේශයේ සිදුවු රිය අනතුරකින් විදේශිකයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (24) රාත්රී 7.00ට පමණ ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ වෑන් රථයක් ඉදිරියෙන් ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 62 වන කිලෝමීටර් කණුව ආසන්නයේ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් වෑන් රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇල්පිටිය සහ නාගොඩ රෝහල්වලට ඇතුළත් කර තිබේ.
අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් ඉන්දියාවේ සිට මෙරට සංචාරයක නිරත වූ එකම පවුලේ සාමාජිකයින් පිරිසක් බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.
මියගිය පුද්ගලයින් අතර 44 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවක්, ඇයගේ 18 හැවිරිදි පුතු සහ ඥාතියෙකු සිටින අතර අනතුරෙන් තුවාල ලැබු ඇයගේ ස්වාමි පුරුෂයා සහ දස හැවිරිදි දියණිය වැඩිදුර ප්රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
මියගිය වෑන් රථයේ රියදුරු 52 හැවිරිදි වාද්දූව ප්රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලිස් ඒකකය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.



